කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

69

අද (07) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් හටගත් මතභේදකාරි තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පෙරවරුවේ තාවකාලිකව අත්හිටුවිමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය.

අද (07) පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ කථානායකවරයා සභාව හමුවේ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශයේ  “මා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යැවූ 02.01.2019 දින ලිපියේ අප සුදුස්සන් තෝරාගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලි කර ඇත.

එතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කථාවේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහන් කර ඇති බව වැරදි ප්‍රකාශයකි.” යනුවෙන් කථානායකවරයා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකතුමා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය පහතින්,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මා විසින්, 2019 ජනවාරි මස 25 වැනි දින ද, මෙම ගරු සභාව ඉදිරියේ ප්‍රකාශයක් කරන ලදී.

එහිදී, මා ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 41ආ ව්‍යවස්ථාවේ සඳහන් ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ ව්‍යවස්ථාවේ සඳහන් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරිම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් අප වෙත එවන නාමයෝජනා අනුමත කිරීමේදී අනුගමනය කළ මාරේගෝපදේශයන් ඇතුලත් වාර්තාවක් 2016.12.08 දින මා විසින්පාර්ලිමේන්තුවේ සභාගත කළ බව දන්වා සිටින ලදී.

එයට වැඩිමනත් වශයෙන්, එකී මාර්ගෝපදේශයන් ඇතුලත් වාර්තාව ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා හෙට දින නැවතත්, මෙම පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

එක් එක් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරීමේදී ඉහත මාර්ගෝපදේශයන් මෙන් ම එම තැනැත්තන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, අවංකත්වය, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ද සභාව විසින් සලකා බලන බව සඳහන් කළ යුතුය.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සංයුතිය පිළිබඳ සඳහනක් කිරීමට මා අපේක්ෂා කරමි. සභාවේ සාමාජිකයන් ලෙස, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා ද, විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්ෂ නායකවරයා ද නිල බලයෙන් පත් වේ. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිතුමන් විසින් පත් කරනු ලැබේ.

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දෙදෙනෙක් අග්‍රාමාත්‍යවරයා  සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් පත් වන අතර, අනෙක් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයා සෙසු පක්ෂවල එකඟතාවයෙන් සභාවේ සාමාජිකයන් ලෙස පත්වේ. සිවිල් සමාජය නියෝජනය කරමින් සාමාජිකත්වයට තැනැත්තන් පත් වන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.

එනම්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයන් දෙදෙනෙක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරයන් තිදෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක් ද, සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය දරයි.

එබැවින්, මා පෙර අවස්ථාවේද සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවල අදහස් නියෝජනය වන ආකාරයෙන් එහි සංයුතිය සකස් වී ඇති බව මාගේ හැඟීමයි.

ඉහත සඳහන් කරුණුවලට අමතරව අතිගරු ජනාධිපතිතුමන් විසින්ද ගරු විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුගමනය කළ ක්‍රමවේදය ගැන එතුමාගේ අදහස් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ හෙයින් එහි අඩංගු සමහර කරුණුද පැහැදිලි කිරීම ව්‍යවස්ථාදායක සභාවේ යුතුකමක් ලෙස සලකමි.

එය විශේෂයෙන්ම වැදගත් වන්නේ ඉතා භාරදූර හා අපක්ෂපාතී ක්‍රියාදාමයක් ඉටු කරන සිවිල් සමාජයේ නියෝජිතයන් තිදෙනා ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් ගරු සාමාජිකයන්ගේ ආත්ම ගෞරවය හා අභිමානය රැක දීම පිණිස හා ව්‍යවස්ථාදායක සභාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා පත්වීම් අනුමත කළ ගරු අග්‍ර විනිශ්චයකාරවරුන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හා ගරු අභියාචනා විනිශ්චයකාරවරුන්ගේ ගෞරවයද රැක දීම ව්‍යවස්ථාදායක සභාවේ යුතුකමක් ලෙස සලකන බැවිනි.

මවිසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යැවූ 02.01.2019 දින ලිපියේ අප සුදුස්සන් තෝරාගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලි කර ඇත. එතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කථාවේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහන් කර ඇති බව වැරදි ප්‍රකාශයකි.

‍අප සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම එකම මිනුම්දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බවයි.

මෙම ගරු සභාවට දැන්විය යුත්තේ අප අනුමත කළ සෑම නමක්ම අතිගරු ජනාධිපතිතුමන් විසින් නිර්දේශිත ලැයිස්තුවල ඇතුලත් නම් පමණක් බවත් ව්‍යවස්ථාදායක මණ්ඩලය මගින් හිතූමතයේ හෝ පිටස්තරව කිසිම නමක් නිර්දේශ නොකල බවත්ය. එසේ හෙයින් එතුමන් විසින් එවන ලද නම්වලින් සුදුසු නම් තෝරාගැනීමේදී කිසිම අකටයුත්තක් අසාධාරණයක් සිදු නොවූ බවද සඳහන් කරමි. මෙහි වරදක්ද අපට නොපෙනේ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ව්‍යවස්ථාදායක සභාව නම් 12 ක් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළද එය ද වැරදි ප්‍රකාශයකි.

එක් ඇබෑර්තුවක් සඳහා නම් 3 – හෝ 4 ක් එවූ විට අප  තෝරා ගත්තේ එක් නමක් පමණි. එවැනි අවස්ථා  ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් හැඳින්වීම ව්‍යවස්ථාදායක සභාවට කෙරෙන අසාධාරණයකි.

ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ. අතිගරු ජනාධිපතිතුමන් විසින්ද එසේ කළ අවස්ථා ඇත. ඒවා එකින් එක සඳහන් කරමින් වාද විවාද කිරීමට අප අදහස් නොකරමු. 19 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව බලපෑම් වලින් තොරව සුදුස්සන් තෝරාගැනීම අ‍පගේ කාර්යභාරය වේ. එය මැනවින් ඉටු කළ බව අපගේ විශ්වාසයයි.

අප කලින් සඳහන් කළ ආකාරයට මණ්ඩලය තුළ පිලිගත් දේශපාලන පක්ෂ නියෝජනය වේ. එක් පාර්ශ්වයකට බහුතරයක් නැත. නම් අනුමත කිරීමේදීද කිසිම අවස්ථාවක බලපෑම් ඇති වී නොමැත. ස්වාධීනව තම අභිමතය ප්‍රකාශ කිරීමට සාමාජිකයින්ට අවස්ථාව ඇත. ව්‍යවස්ථා සභාව  පිහිටවූ දා සිට වර්තමානය දක්වා අප ගත් සෑම තීරණයක්ම අවසානයේදී එකඟත්වයෙන් ගත් තීරණ බව හිටපු හා වර්තමාන සාමාජිකයිනට ගරු කිරීමක් වශයෙන් සඳහන් කරමි.

මෙතෙක් එතුමා විසින් එවූ නම්  කිහිපයක් හැර බහුතරයක් අනුමත කර ඇත.  අදාල පාර්ශ්ව සමග අපි ලිපි ගනුදෙනු කරන්නේ නැත. ප්‍රාථමික, මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ පත්වීම් ගැනද ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කර ඇත. එම පත්වීම් කිරීමේදී අපගේ අධීක්ෂණයට ලක්වන්නේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  හා අභියාචනා අධිකරණය පත්වීම් පමණි.  එයට වගකිව යුතු වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව ය. එහෙයින් එම චෝදනාවන යුක්ති සහගත නොවේ.

අල්ලස් කොමිසම ඉදිරියේ හෝ වෙනත් චෝදනාවලට ලක්වූ තැනැත්තන් හා එසේත් නැතිනම් ගරු අග්‍ර විනිශ්චයකාරතුමන්ගේද නිර්දේශ නුසුදුසු වූ විට එම පත්වීම් අනුමත නොකලෙමු.

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා නිසා අද අප රටට විශාල ගරුත්වයක් ලැබී ඇත. අපගේ උත්තරීතර අධිකරණය ලෝක ප්‍රශංසාවට ලක්ව ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලෝකයේ  විශිෂ්ඨ ගනයේ ස්වාධීන කොමිසමක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇත. තොරතුරු දැනගැනීමේ පනත  අග්‍ර ගනයේ පනතක් වශයෙන් ලෝක ප්‍රජාව පිලිගෙන ඇත.

මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුලුවේදී අප රටට ඉදිරිපත් කරන චෝදනාවලට ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි අප ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවට ශක්තියක් වන බව දැනටම ප්‍රකාශ වී ඇත.

අවස්ථා කිහිපයකදීම මෙම කරුණු ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අතිගරු ජනාධිපතිතුමා හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමට ඉතා කැමැත්තෙන් සිටින බව බොහෝ අවස්ථාවලදී  අප විසින් ප්‍රකාශ කර ඇත. එසේ නොමැතිව ස්වාධීන ආයතන දැඩි ලෙස විවේචනයට ලක් කිරීම දීර්ඝකාලීනව රටට කරන හානියක් බව ගෞරවයෙන් පෙන්වාදීමට කැමැත්තෙමු.

මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාදාමයද ඊයේ විවේචනයට භාජනය විය. ඒ ගැන  රටට කරුණු පැහැදිලි කරන ලෙස අප විසින් කොමිසමට උපදෙස් දී ඇත.

කෙසේ ‍හෝ අතිගරු ජනාධිපතිතුමන් විසින් සඳහන් කළ කරුණු දෙකක් ගැන එහි සාමාජිකයන්ට ගරු කිරීමක් වශයෙන් පැහැදිලි කිරීම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ යුතුකමක් ලෙස දකිමු.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට STF  භටයන් යැවීම ගැන විධිමත් වාර්තාවන් ඉල්ලා සිටියේ ඒ ගැන විවිධ පාර්ශ්ව කරුණු ඉදිරිපත් කළ නිසා බවත්, ඒ  දුන් කරුණු අනුව එම ක්‍රියාදාමයේදී කිසිම විරෝධතාවන් පළ නොකළ බවත් අපට එම කොමිසම මගින් දැනුම් දී ඇත. ඒ අය  අනුගමනය කළේ පවතින ක්‍රමවේදය කරුණු පැහැදිලි කරගැනීමක් පමණි.

මාලි රාජ්‍යයට යැවූ සොල්දාදුවන් ආපසු කැඳවීම ප්‍රමාදවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය / ත්‍රිවිධ හමුදාව / විදේශ අමාත්‍යාංශය හා මානව හිමිකම් කොමිසම ඇතුලු සියලුම පාර්ශ්වයන් එකඟත්වයෙන් ගත් තීරණයක් අනුවය.

දැනට ලෝකයේම සාම සාධක කටයුතු සඳහා නිලධාරින් තේරීම් වගකීම පැවරී ඇති එකම ආයතනය ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව පමණක් බව ලංකාවේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය අපට දැනුම් දී ඇත.

එමගින්ම ජාත්‍යන්තරය විසින් අප මානව හිමිකම් කොමිෂන් සභාව කෙරෙහි ඇති විශ්වාසය තහවුරු වේ. එහෙයින් විවේචන හා චෝදනා සාධාරණ වීම වැදගත්ය.“