අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාවේ විරෝධතාවයක

Share

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාවේ විරෝධතාවයක නිරතවිය.

ඊයේ (09) දින එම අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මෙසේ විරෝධතාවයක නිරත වී තිබේ.

අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දින 719 ක් ඊයේ (09) දිනට විරෝධතාවයේ නිරතවුවද අතුරුදහන්වුවන්ගේ ගැටළුව වෙනුවෙන් විසඳුමක් ලබාදීම වෙනුවට සම්බන්ධන් හා සුමන්තිරන් ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටළු පසෙකලා වර්තමානයේ කටයුතු කරන බවයි.

අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් සාකච්ඡා පැවැත්වුවද අදාළ සාකච්ඡාවන් වෙනුවෙන් සුමන්තිරන් හා සම්බන්ධන් මැදිහත් වී රජය සාධාරණීකරණය කිරීම සිදුකරමින් සිටින බැවින් තමන්ගේ ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබී ඇති බවද විරෝධතාකරුවන් පැවසූහ.

විරෝධතාවයට එක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ගැටළුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

දේශීය යාන්ත්‍රණයක් හා දේශීය ක්‍රමවේදයක් මඟින් ලබාදෙන විසඳුම් තමන් පිළිනොගන්නා බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ මෙරට අතුරුදහන්වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවිය යුතු බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලීම් කරනු ලැබීය.

ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය මැදිහත්වී සිය ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවය පැවැත්වූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.

Read more

Local News