විග්නේශ්වරන්ගේ මුලික විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

Share

තමාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් මතුකළ මූලික විරෝධතා අද(13) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියටත් විභාග කිරීමට තීරණය කර ඇති විනිසුරු මඩුල්ල එය විභාගයට ගන්නා දිනය ලබන සිකුරාදා තීරණය කරන බව කියා සිටියේය.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ බී.ඩෙනිෂ්වරන් මහතා විසින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමා ත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබුණි.

උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට එම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබුණි.

එහෙත් විග්නේෂ්වරන් මහතා එම අභියාචන අධිකරණ නියෝගයට අවනත නොවී කඩ කරමින් කටයුතු කළ බව චෝදනා කරන පැමිණිලිකාර ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

Read more

Local News