Tuesday, March 19, 2024.

ජනාධිපතිවරණය පලමුව පවත්වන බව හලීම් කියයි

Share

සියලු මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසයි.

ඊයේ (16) අකුරණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් විලාන උඩගම ආඳාවල සිට මැඩිල්ල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා එම අදහස් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය හලීම් මහතා පැවසුවේ 2015  අගෝස්තු මාසයේදී  එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටුවා ගත්තත් එ් මොහොතේ තනිවම රජයක් පිහිටුවා ගන්නට නොහැකි වු බවත් ජාතික ආණ්ඩුවක් ලෙස යහපාලන රජයක් පිහිටුවා ගත් බවත්ය.

එම නිසා එදා තම පාක්ෂිකයින්ගේ ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වාතාවරණයක් නොතිබුන බවත් ලැබෙන ප්‍රතිපාදන ඒ වගේම රැකියා ලබා දීම ඇතුළු සියලු දේ පක්ෂ දෙකටම බෙදා ගන්නට සිදු වු බවත් අමාත්‍යවරයා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ,

“සමහර දේවල් කරන්න අපට ඉඩ දුන්නේ නෑ.  ඒ වගේම බාධා රැසක්ම තිබුණා. ඒ නිසා පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුල අපේ පාක්ෂිකයින්ගේ ඉල්ලීම් ඉටු කරන්න බැරි වුණා. එහෙම වුනත් අපට පුළුවන් ආකාරයට වැඩ කළා.

මාස කිහිපයකට පෙර නීත්‍යානුකූල ක්‍රමයක්  නැතිව ආණ්ඩුවක් පිහිටවූවා. ඒ නිසා මාස දෙකක බාධාවක් ඇති වුණා. හැම දෙයක්ම ඇන හිටියා. මේක මාස දෙකක්නෙ කියල හිතුවට ඒ මාස දෙකේ අති වාශාල පාඩුවක් විඳින්න සිද්ධ වුණා.

ඒ වගේ තත්ත්වයක් ඇති වුනහම අපට විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර සියල්ල නැවතුණා. රජයේ ස්ථාවරභාවයක් නැති වෙන කොට අපට ලැබෙන ප්‍රතිපාද ලැබෙන්නේ නෑ. වාසනාවට වගේ අපේ රටේ ස්වාධීන අධිකරණයක් තිබුණ නිසා අපට අපක්ෂපාතී තීන්දුවක් ලබා දුන්නා.

අපි නැවත රජය ආරම්භ කළාට පස්සේ අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ පාක්ෂිකයින්ට උදව් කරන්න පුළුවන විදිහට වැඩකටයුතු කරන්න ඕන කියලා.

ඒ අනුව අපි විශේෂ වැඩපිළිවෙළවල් දෙකක් ආරම්භ කළා. එකක් ගම්පෙරළිය වැඩසටහන. ගම්පෙරළිය වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා ගම්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න.

මාර්ග අතුරු මාර්ග පාසැල් ආදිය මේ යටතේ සංවර්ධනය වෙනවා.ඉතිහාසයේ කවදාවත් නැතිි විදිහට අති විශාල මුදල් ප්‍රමාණයක් මෙවර ලැබෙනවා. අපිට කෝටි  20 ක් ලැබිල තියෙනවා. අයවැට පෙර වියදම් කරන්න. අය වැයෙන් පස්සේ තවත් කෝටි 10 ක් ලැබෙන්න තියෙනවා.

2015 පත් වූ මේ ආණ්ඩුවේ බලය 2020 වෙනකම්ම තියෙනවා. නමුත් සමහර අය හෙට අනිද්දා මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. හරියාකාරය බලනවානම් ඊළඟට එන්න ඕන ජනාධිපති මැතිවරණයයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපති මැතිවරණයක්.

ඒ මැතිවරණයෙන් පස්සේ තමයි අනෙක් මැතිවරණ පවත්වන්න අපි  අදහස් කරන්නේ.” යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

Read more

Local News