මාධ්‍ය මඟින් කරන වැරදි වැඩක් ගැන මහින්ද කියයි

Share

රට තුළ අපරාධකාරයින් වැඩි වෙමින් පවතින යුගයක ඔවුන් විවේචනය කරමින් මාධ්‍ය මඟින් වීරයින් බවට පත් කිරීමේ දී එය සමාජයට වැරදි අර්ථකථනයක් ගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ටෙලිවිෂන්වල පෙනී සිටීමට නම් එවැනි පුද්ගලයින් බවට පත් විය යුතු යැයි ළමා ප්‍රජාව තුළ එයින් විශ්වාසයක් ගොඩ නැගෙන බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (23) සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

”අපරාදකරුවා පිළිබඳව අනවශ්‍ය වීරත්වයක් ගොඩනගලා සමාජය ඔහු පිළිබඳව බලන විදිය වෙනස් කරන්න හදන එක වැරදියි බවත් ඒ හේතුවෙන් තරුණයන් වැරදි මත ඇති කරගන්නවා.

අපි පන්සල මුල් කරගෙන වෘත්තීය පුහුණු ඒකකය, නැණ සැල වැනි ආයතන ආරම්භ කළා. ඊට හේතුව වුණේ පන්සල දරුවන් සහ තරුණයන් වඩාත් ළං කිරීමයි. දහම්පාසල අනිවාර්ය කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. දහම්පාසල අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත් කළ යුතුයි. නමට ‍බෞද්ධයෝ වෙලා ඉඳලා වැඩක් නෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි.”

අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් අපි සමාජය තුළ ඇති කළා. අපි භීෂණයට යටවෙලා හිටපු මිනිස්සු. ඒක අපේ තරුණයන්ට, අම්මලා තාත්තලාට අමතක වෙලා. අපි ඒ භීෂණයෙන් රට මුදවාගෙන තියෙනවා. බයක් නැතිව ජීවත් වෙන්න, යාපනයට යන්න, දකුණට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කළා.

ප්‍රභාකරන් යුද්ධයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච දේ යම් කෙනෙක් කොල කෑල්ලකින් ලබාගන්න සූදානම් වෙනවා නම් එයට මේ සමාජයේ ඉඩක් නැතෙයි කියන එක අපි පැහැදිළිව කියනවා. ඒ නිසා රට තුළ වෙන්නෙ මොනවද කියලා කියන දේ විතරක් පිළිගන්න එපා. බලලා දැනුම ලබාගෙන ඇත්තද නැත්තද කියලා බලලා පිළිගන්න.

මගේ පියා ඉන්න කාලෙ මම යනවා පාර්ලිමේන්තුවට. එදා  1970 මම දැක්ක පාර්ලිමේන්තුව නෙවෙයි අද තියෙන්නෙ. එදා ඇන් එම්ලා, කොල්වින්ලා, ජේ ආර් ජයවර්ධනලා , ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලා වගේ අය විවාද කරපු පාර්ලාමේන්තුව නෙවෙයි අද තියෙන්නෙ.

අද ඊට වඩා වෙනස් පාර්ලිමේන්තුවක් තියෙන්නෙ. එක තුළ මඩ ගහන එක, චරිත ඝාතනය කරන එක තියෙන්නෙ. අපි සම්ප්‍රදායක් වශයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න බැරි කෙනෙක් ගැන කතා කරන්නෙ නෑ.

හැබැයි ඒ සම්ප්‍රදාය අද විනාශ වෙලා. පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මිනිස්සුන්ට මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න, දේශපාලනමය වශයෙන් විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිතය විනාශ කරන්නත් ඒක ඉවහල් වෙලා තියෙනවා.

එවැනි තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම අපි කාගෙත් වගකීම. පාර්ලාම්න්තුව ආදර්ශයක් ගත යුතු ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගත යුතු කාලය ඇවිත් තියෙනවා.”

Read more

Local News