මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත යෝජිත විශාලතම අපනයන සැකසුම් කලාපය අද(04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

මෙමඟින් ඍජු විදේශ ආයෝජන, අපනයනය සහ රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නව ජීවයක් ලබා ගැනීමට අපේක්ෂිතය.

මෙම සංවර්ධන කලාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කරන අතර, පළමු අදියර යටතේ ජර්මන් වත්ත නම් වූ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කරනු ලබයි. එමගින් ඍජු රැකියා 10,000 ක් ද වක්‍ර රැකියා 3000 ක් ද ලබාදීමට සැලසුම් කර තිබේ.

දෙවන අදියර යටතේ අක්කර 282 ක් වන ගොරකගස්ආර ප්‍රදේශයේ නව කම්හල් ඇරඹිම සඳහා සංවර්ධනය කරන අතර, එහි ස්ථාපිත කරනු ලබන නව කර්මාන්ත ශාලා තුළින් ඍජු රැකියා 25,000 ක් සහ වක්රය රැකියා 10,000 ක් අපේක්ෂා කරයි.

තෙවන සහ අවසන් අදියර වන විට අපනයන සැකසුම් කලාපය සතු සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 1200 ක් වන අතර, එහි ස්ථාපනය කරන නව කර්මාන්ත ශාලා තුලින් ජනිත කරන ඍජු රැකියා ප්‍රමාණය 75,000 ක් පමණ වනු ඇත.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමය වසර 8 ක් 12 ක් දක්වා කාල පරාසයකදී වැඩ නිම කිරීමට අපේක්ෂිතය.

Read more

Local News