විදුලි වාහන සඳහා දුන් බදු සහනය පිළිබඳව යළිත් සලකා බලනවා

Share

මෙරට තුළ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවක් සහිත විදුලි වාහන සඳහා ලබාදී ඇති බදු සහනය පිළිබඳව යළිත් සලකා බලන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

අයවැය 2019 යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් කරුණු දැක්වූ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍ර රාජා අදාළ බදු සහනය ලබාදීම කිලෝ වොට් 80 මට්ටමේ විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් සලකා සිදුකරවූවක් බව පවසා සිටියේය.

කෙසේ වෙතත් අද වනවිට මෙලෙස කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවක් සහිත විදුලි මෝටර් රථ මෙරටට නොපැමිණෙන බවත්, පැමිණෙන සියලුම මාදිලියේ අලුත් මෝටර් රථවල ධාරිතාව කිලෝවොට් 110ක් බවත් මාධ්‍යවේදීන් මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ හරහා මෙලෙස කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවලට ලබාදී ඇති මෙම බදු සහනයේ වටිනාකමක් නොමැති බවද ඔවුන් සඳහන් කළේය.

එසේම මෝටර් රථ සඳහා පනවා ඇති කාබන් බද්ධද අසාධාරණ බද්දක් ලෙස පෙන්වා දුන් මාධ්‍යවේදීන් ඒ සඳහා නියමිත නිර්ණායකයන් ඉදිරිපත්වීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා අදාළ කාබන් බද්ධ පිළිබඳව ඉදිරිපත්ව ඇති අදහස්ද විමසා බලන බව පවසා සිටියේය.

Read more

Local News