නාලකගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Share

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක්  “තාරුණ්‍යයට හෙටක්”  සංවිධානයේ කටයුතු සඳහා යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව අද (11) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නාලක ගොඩහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට මේ මස 25 වනදා සිට අප්‍රේල් මස 15 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව ඇති බව දන්වා තිබේ.‍

ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන්ද ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා විරෝධය පළ කළේ නැත.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ගොඩහේවා මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා තාවකාලික ලෙස ඉවත් කිරීමට නියම කළේය.

මේ අතර ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් නීති විරෝධී ලෙස තාරුණ්‍යට හෙටක් සංවිධානයේ කටයුතු සඳහා ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එහි  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවට අදාළ සාක්ෂි සටහන් කරගැනීම අද දිනයේ සිදුකෙරුණු අතර වැඩිදුර විභාගය ලබන 19 වනදාට කල් දැමුණේය.

Read more

Local News