ශෂී වීරවංශගේ නඩු විභාගය කල් යයි

Share

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය අප්‍රේල් මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහෙත් පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වී ඇති හෙයින් නඩු විභාගය අප්‍රේල් මස 4 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ටිල්වින් සිල්වා මහතාට නියම කෙරුණා.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් රහස් පොලීසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබබ්.

Read more

Local News