Tuesday, March 19, 2024.

බොරැල්ල රථවාහන OIC රිය අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රියදුරු යළි රිමාන්ඩ්

Share

ඉකුත්දා බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියැදුරු වන නවිදු රත්නායක අද(18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවකු විසින් හඳුනා ගනු ලැබීය.

අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී මෙම අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් විසින් සැකකරු හඳුනා ගත්තේය.

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව මුලින්ම රථවාහන වැරදි යටතේ කරුණු ඉදිරිපත් කර තිබුණත් දැන් අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා මිය ගොස් ඇති බැවින් මිනීමැරීමේ චෝදනා යටතේ මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.

රිමාන්ඩ් භාරයේ පසුවන මෙම සැකකරු ඇප මත මුදාහරින මෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ මෙම සැකකරුට ඇප දීම සඳහා තම අධිකරණයට බලයක් තිබේද යන්න පිළිබඳව ගැටලුවක් මතුවන බවයි.

ඒ අනුව අදාළ සැකකරු ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

දැනට පොලිසිය භාරයේ පවතින මෙම අනතුර සිදුකල ඩිෆෙන්ඩර් රථයට පසුපසින් ගමන් ගත් මෝටර් රථයක් එහි ලියාපදිංචි අයිතිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා වෙත මුදා හැරීමට ද අධිකරණය නියම කළේය.

Read more

Local News