ජොන්ස්ටන්ට එරෙහි නඩුව යළි කැඳවයි

Share

ස.තො.ස ආයතනයේ සේවකයින් 153ක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 05 යළි කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තියේ නීතිඥවරු විසින් මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම්දීමෙන් පසුව නඩුව නැවත ලබන 05 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත.

එදිනට මෙම මූලික විරෝධතා සහ ඊට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් මහේස්ත්‍රාත්වරිය පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

2010 සහ 2014 යන වසර වලට අදාළ කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News