මහනුවර මහරෝහල ජාතික රෝහලක් කිරීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

Share

මහනුවර මහරෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහනුවර මහරෝහලේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සොයාබැලීම සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ  (24) දා පස්වරුවේ මේ බව දැන්විය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රාජකාරී ඉටු කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු මෙහිදී ඉදිරිපත් කළ අතර, එම ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසදුම් ලබාදෙන ලදි.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“මහනුවර මහරෝහලේ රුපියල් මිලියන 7,000 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. පිළිකා වාට්ටු සංකීර්ණය, තැලසීමියා වාට්ටු සංකීර්ණය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඒ අතර ප්‍රධාන වෙනවා.

මෙම ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබදව විමසා බැලූ අතර, පැවැති ගැටලු වලට විසදුම් ලබාදුන්නා. මහනුවර මහරෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කරන අතර, එම රෝහලේ බද්ධ කිරීමේ සැත්කම් රැසක් ද ආරම්භ කර තිබෙනවා. දැනට කොළඹ ජාතික රෝහලේ නොකෙරෙන බද්ධ සැත්කම් ද මෙම රෝහලේ සිදු කරනවා.

නව සංවර්ධන ව්‍යාපෘති අවසන් වනවිට මෙම රෝහලේ ඇදන් සංඛ්‍යාව 3,200 ඉක්මවනවා. මෙම රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට කොන්ත්‍රාත් සමාගම් වලට උපදෙස් ලබාදුන් “ බවත් ඔහු පැවසිය.

Read more

Local News