බක්මහ දිවුරුමට ජනතාවට ජනපතිගෙන් ආරාධනා

Share

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

එහි ප්‍රධාන උත්සවය හෙට පෙරවරු 8.15ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රායේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී වීමට නියමිත අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී වනු ඇති.

මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන අතර ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලු දෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් කරගැනීමට නියමිතයි.

හෙට පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කරගැනීමට නියමිත අතර සිංහල හා දමිළ බසින් එම දිවුරුම ලබාදීම සිදුකෙරෙයි.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට පෙරවරු 8.34 සිට 8.38 දක්වා බක්මහ දිවුරුම සමඟ එක්වනු ඇති.

දරුණු සමාජ ව්‍යවසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මතින් නිදහස් රටක් බිහි කිරීමේ ජාතික වෑයමට සිය දායකත්වය ලබාදෙන මෙන් සමස්ත පුරවැසියන්ට රජය කාරුණිකව ආරාධනා කර සිටියි.

Read more

Local News