“බක්මහ දිවුරුම“ ප්‍රතිඥාව ලබා දෙයි

Share

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” මීට සුළු මෙහොතකට පෙර සිදු කර තිබේ.

අද(03) පෙරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී වනු ඇති.

අද පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කරගැනීමට නියමිත අතර සිංහල හා දමිළ බසින් එම දිවුරුම ලබාදීම සිදු කෙරෙයි.

දිවයිනේ සියලු පාසල් දරුවන් ද සිය පාසල්වල සිට පෙරවරු 8.34 සිට 8.38 දක්වා බක්මහ දිවුරුම සමඟ එක් වෙයි.

දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මතින් නිදහස් රටක් බිහි කිරීමේ ජාතික වෑයමට දායකත්වය ලබාදෙන මෙන් සමස්ත පුරවැසියන්ට රජය කාරුණිකව ආරාධනා කර සිටියි.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය  මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන්ම ඒවා ළඟ තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව ද ඉදිරියේදී දැඩි නීති රිති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සතුව පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කිරිමේදී රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟවිම වැනි කරුණු හේතුවෙන් ප්‍රායෝගික ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පවසන්නේය.

ඒ පිළිබඳ අධ්‍යයනය කර ප්‍රමාදයන් වලක්වා ගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම කඩිනම් කිරිම සදහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට උපදෙස් ලබාදී තිබේ.

මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරිමට අදාල පනත් කෙටුම්පත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (02) පස්වරුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News