මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම අදයි

Share

“දකුණු ලකට අලුත් මගක්” යන තේමාව යටතේ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කිරීමට නියමිතයි.

උදෑසන 8.30ට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන පළමු දුම්රිය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ළඟාවීමෙන් පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමහන් පරිශ්‍රයේ දී ඊට අදාළ උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවයට සමගාමීව මාතර හා බෙලිඅත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි පිලදූව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද, වැව්රුකන්නල හා බෙලිඅත්ත යන දුම්රිය ස්ථාන විවෘත කිරීම ද සිදුවන බව වාර්තා වෙයි.

1990 වසරේ දී මාතර, කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනයක් පළමු වරට සිදුකළ අතර කිලෝමීටර් සියයක දුරින් යුතු එම මාර්ගය ඉදිකිරීමට 1992 වසරේදී මුල්ගල තැබීම සිදු කෙරුණි.

2005 වසරේදී මාතර දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් සිදුකළ යුතු බවට තීරණය වී ඇති අතර කිලෝමීටර් 26යි දශම හතයි පහක දුරින් යුත් එම මාර්ගය ඉදිකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය 2010 වසරේදී චීන සමාගමක් සමග ගිවිසුම් ගත වී ඇති බව සඳහන්ය.

ඒ අනුව 2013 වසරේදී මුදල් අමාත්‍යාංශය, චීන එක්සිම් බැංකුව සමග අමෙරිකානු ඩොලර් මිලියන 278ක සහන ණය ගිවිසුමකට එළඹ තිබේ.

දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව 2018 වසරේ ජනවාරි මස 06 වැනිදා එහි පළමු නිරීක්ෂණ දුම්රිය ධාවනය කෙරුණු අතර එම වසරේ අප්‍රේල් මස 08 වැනිදා එස් 12 වර්ගයේ වායුසමනය කළ දුම්රියක් ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශ කටයුතු කළේය.

අභිනවයෙන් විවෘත වන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 07ක් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර එම දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන 06ක් වෙයි.

මාතර හා බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රධන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් ලෙස නැවතුම් ස්ථාන 06කින් යුක්ත වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

බෙලිඅත්ත සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120ක් වන අතර දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 70ක් සහ තුන්වන පන්තියේ ගාස්තුව රුපියල් 35ක් වන බව සඳහන්ය.

මෙරට දුම්රිය මාර්ගයක හමුවන දිගින් වැඩිම පාලම් දෙක ඇතුළත් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය දුම්රිය ඉතිහාසයේ සුවිශේෂි මාර්ගයක් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිව ඇති “වටගම පාලම” මෙරට දුම්රිය මාර්ගයක හමුවන දිගින් වැඩිම පාලම ලෙස සැලකෙන අතර එහි දිග මීටර් 1500ක් වන බව සඳහන්ය.

එම මාර්ගයේ හමුවන නිල්වලා ගග හරහා ඉදිව ඇති පාලම ද මීටර් 1400ක දිගින් යුතුය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක පිහිටි දිගින් වැඩිම බිංගෙය ද බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකනදුර දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

දුම්රිය මාර්ගයෙන් විවෘත කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සහ බෙලිඅත්ත අතර අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය සිදුකීරීමට නියමිතයි.

ඒඅනුව දැනට මාතර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය කිහිපයක් හෙට සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News