ඉන්දුනීසියානු මැතිවරණයේ ඡන්ද විමසීම අද

Share

ලොව විශාලතම මැතිවරණවලින් එකක් ලෙසින් සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ විය.

එරට ඉතිහාසයේ පළමුවරට, ජනාධිපතිවරණය, මහා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ යන මැතිවරණ ත්‍රිත්වය එකම දිනක පැවැත්වීම විශේෂත්වයක්.

මෙවර ජනාධිපතිවරණ සඳහා ජනාධිපති ජොකෝ විඩොඩෝ තරගවදින අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ හිටපු ජෙනරාල්වරයෙකු වන ප්‍රාබොවෝ සුබිඅන්තෝයි.‍

පසුගිය 2014 පැවැති ජනාධිපතිවරණය සදහා ද මේ අපේක්ෂකයන් දෙදෙනාම ඉදිරිපත්ව සිටි බැවින් මෙවර මැතිවරණයද ඊට බෙහෙවින් සමාන බව විචාරකයන් පවසයි.

ඉන්දුනීසියාව සලකන කළ මෙවර මැතිවරණය ඔවුන්ට අතිශය සුවිශේෂී වෙයි.

ඒ සුදුසුකම් ලැබූ මිලියන 192කට ආසන්න ඡන්ද දායකයන්ට මෙවර එකම ඡන්ද විමසීමකදී ජනාධිපතිවරණය, මහා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවීම නිසයි.

මේ හේතුවෙන් මෙවර මැතිවරණය එක් දිනක පැවැත්වෙන ලොව වඩාත් සංකීර්ණම මැතිවරණයක් බවටද ඉතිහාසයට එක්වෙයි.

ජාතික මට්ටම සදහා අපේක්ෂකයන් 20, 000ක් ඡන්දයට ඉදිරිපත්වී සිටින අතර සමස්ත මැතිවරණය ක්‍රියාවලිය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ප්‍රමාණය 2 45 000ක් වනවා.

නැගෙනහිර ඉන්දුනීසියාවේ ඡන්ද විමසීම එරට වේලාවෙන් උදෑසන 7ට ආරම්භ කෙරුණු අතර, ජකර්තා අගනුවර අයත් බටහිර ඉන්දුනීසියානු මැතිවරණය මධ්‍යම රාත්‍රියේදී ආරම්භ කෙරුණි.

ඉන්දුනීසියාව දූපත් 17 000ක් අයත් රාජ්‍යයක් වන බැවින් එහි දුරස්ත කලාප සඳහා වෙනමම ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 8ක් පිහිටුවා ඇති අතර ඒවායේ ඡන්ද ප්‍රකාශ කිරීම සදහා පැය 6ක කාලයක් ලබා දී තිබේ.

මිලියනයකට අධික විදෙස් ඉන්දුනීසියානුවන්ටත් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන මෙවර ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය ලබන මැයි මාසයේදී නිකුත් කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.

Read more

Local News