හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න රෝහල් සූදානමින් බව රාජිත කියයි

Share

අද(21) ඇති වූ හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා රෝහල් සීරුවෙන් තබා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ජාතික රෝහල මගින් ක්ෂණික ප්‍රතිකාර සියල්ල සිදුකල අතර මිනිස් ජීවිත ගලවා ගැනීම දිගින් දිගටම සිදු කරමින් පවතී.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, මීගමුව, මඩකලපුව, රාගම ඇතුළු තදාසන්න රෝහල් සියල්ල මේ වනවිටත් සීරුවෙන් තබා ඇත.

ජයවර්ධනපුර රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සියළු අවශ්‍යතා අනුව සූදානම් කර තබා ඇත.

සියලුම ගිලන්‍ රථ සේවා අවශ්‍ය ස්ථාන වලට කඩිනමින් යොමුකර ඇති අතර අවශ්‍ය සියලුම ලේ වර්ග ලේ බැංකුව මගින් රෝහල් වෙත ලබා දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විශේෂයෙන්ම මීගමුව රෝහලේ රුධිරය හිග වීමට නොදී කොළඹ සිට වහාම රුධිරය වහාම යැවූ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් පෞද්ගලිකවම ජාතික රෝහලේ සෑම අංශයකටම ගොස් නිරීක්ෂණය කල බවත් රෝහල් කාර්‍ය මණ්ඩලය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු සිදු කරමින් පවතින අතර මේ පිළිබදව සොයා බලා තවත් අවශ්‍යතා වේ නම් ඒවාද නොපමාව ඉටුකර දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බියගුලු ත්‍රස්තවාදයට ජාතිභේද ආගම්භේද පක්ෂ පාට නොමැත.

උතුරේ හා දකුණේ බියගුලු ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා මා නොබියව දේශපාලන ජීවිතයේදී කටයුතු කල පුද්ගලයෙක්.

ඉදිරියේදී මිලේච්ඡ ත්‍රස්තවාදය කුමන තැනකින් පැන නැග්ගත් එය පරාජය කිරීමට මා දිවිහිමියෙන් කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කල නිසා දෙවරක් බෝම්බ ප්‍රහාර වලට ලක් වී ජීවිතය බේරාගත් අයෙකු ලෙස මා, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමිව කලබල නොවී සිටින ලෙසයි.

මෙහි නිශ්චිත තත්වය ආරක්ෂක අංශ සොයාගෙන තහවුරු කර ගන්නා තුරු කිසිදු අයෙකුට ඇගිල්ල දිගු නොකරන ලෙසද ඉල්ලා සිටින බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වෙලාවේදී විශාල ජීවිත සංඛ්‍යාවක් බේරාගත් සියළු රෝහල් කාර්‍ මණ්ඩලයටත් හදිසි අවස්ථාවේදී ඉදිරියට පැමිණි සියළු ජනතාවටත් මා මෙහිදී ප්‍රණාමය පුද කරමි.

ඒ වගේම මාගේ විශේෂ ඉල්ලීම පරිදි තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කල පෞද්ගලික රෝහල් වලටද ස්තුතිය පුද කරන අතර මේ බියගුළු ප්‍රහාර වලින් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් සාතිශය සංවේගය පුද කරන බවද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more

Local News