නෝත්‍රදාම් දේවස්ථානය වෙනුවෙන් ප්‍රසංගයක්

Share

හදිසි ගින්නකින් විනාශයට පත්වූ නෝත්‍රදාම් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිහිටුවූ අරමුදලට පරිත්‍යාග ලබාදීම සඳහා ජනතාව දිරිමත් කිරීමේ ප්‍රසංගයක් පැරිස් අගනුවරදී පැවැත්වුණි.

මෙම ප්‍රසංගය එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සජීවීව විකාශනය කෙරුණු අතර ඒ සඳහා ප්‍රංශ සහ ජාත්‍යන්තර කලාකරුවන් රැසක් සහභාගී වුණි.

ඒ අතරට චීන පියානෝ වාදන ශිල්පී ලන්ග් ලන්ග්, බෙනින් රාජ්‍යයේ ගායිකා ඇන්ජලික් කිජෝ සහ ප්‍රංශ ගායක බෙනබා(ර්) Benabar වැනි කලාකරුවන් අයත්ය.

පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත් නෝත්‍රදාම් ඓතිහාසික දේවස්ථානය තුළ පසුගිය සඳුදා හටගත් ගින්නෙන්  එහි වහලය විශාල වශයෙන් විනාශයට පත්ව ඇති අතර අලංකාර කොත කඩා වැටුණි.

මේ වන විට එම යුනෙස්කෝ ලෝක උරුමය නැවත ගොඩනැගීම සඳහා වන අරමුදලට යුරෝ බිලියනයක මුදලක්  එක්රැස් වී ඇති බව සඳහන්ය.

මේ අතර දේවස්ථානය ‘වඩාත් ආකර්ෂණීය’ ලෙස ප්‍රතිසංස්කරණය කරන බවටත් එහි කටයුතු වසර පහක් තුළ නිම කරන බවටත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රතිඥා දී ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ පොරොන්දුව කුමක් වුවද ප්‍රතිසංස්කරණය සම්පුර්ණ කිරීමට දශක කිහිපයක් ගත විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනු ලබයි.

Read more

Local News