හෙට පාර්ලිමේන්තුව රැස් වෙයි – විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද (22) පස්වරුවෙහි කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡාකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

ඒ අනුව හෙට ප.ව 01.00 සිට ප.ව 02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පවතින තත්ත්වය අලලා විශේෂ ප්‍රකාශයන් සිදුකිරීමටත් තීරණය කර ඇත.

හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ද හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව 2019-04-24 දින පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ හදිසි රැස්වීමක් ද අද පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට එහි සාමාජිකයන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මැති ඇමතිවරු එක්ව ඇත.

පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා අප්‍රේල් මස 26 වන සිකුරාදා පස්වරු 03.00 ට සියලු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ දී කැඳවීමට ද විශේෂ කාරක සභාව විසින් තීරණය කර ඇත.

Read more

Local News