එක් බෝම්බකරුවෙක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක විමර්ශනයට ලක් වූවෙක්

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස සැළකෙන “අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ්” නැමැත්තා ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී එරට ආරක්ෂක අංශවල විමර්ශනවලට ලක් වු අයෙකු බව අනාවරණ වී ඇත.

අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වු බවට එරට අත්අඩංගුවේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතික නීල් ප්‍රකාශ් නැමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති බවට ඇති වු සැකයක් මත ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් 2014 වසරේදී මෙම පුද්ගලයා පිළිබඳ විමර්ශන සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ඔහු ත්‍රස්ත ක්‍රියාවලට හෝ එවැනි සංවිධාන වලට සම්බන්ධ බවට එවක සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී නැත.

2009 වසරේ සිට 2013 වසර දක්වා මෙල්බන්හි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබු “අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ්” නැමැති මෙම මරාගෙන මැරෙන බෝම්බකරු ඔස්ට්‍රේලියාවේ සිටියදී අන්තවාදී ක්‍රියාවන්ට නැඹුරු වු බවට ඔහුගේ සහෝදරියක විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

දෙහිවල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ බව පැවසෙන ඔහුගේ ඉලක්කය වී තිබුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් සංකීර්ණය බව වාර්තා වුණි.

මේ අතර පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රහාර මාලාව අයි.එස් සංවිධානයේ සහය ඇතිව සිදුවුවක් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිය ජනතාවට අනතුරු ඇඟවීමක්ද සිදු කර ඇති අතර ත්‍රස්තවාදීන් තවදුරටත් ප්‍රහාර සිදු කිරීමේ අවදානමක් පවතින බව ඉන් ප්‍රකාශ කර ඇත.

Read more

Local News