වව්නතිව්හිදී ඝාතනය වූ පොලිස් නිලධාරීන්ගේ ඝාතකයිනුත් අත්අඩංගුවට ගත් පිරිස අතර ?

Share

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර පසුගිය දින මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි.

2018 නොවැම්බර් 30 දින වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියක යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියි.

අදාළ සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී  පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව කරුණු ගණනාවක් අනාවරණය වී ඇත.

වව්වතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ රිවෝල්වර්  අවි දෙක සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබුණි.

එම ගිනි අවි දෙක ඉහත සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හඳුනා ගැනීමට හැකිවු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඊට අමතරව මාවනැල්ල ප්‍රදේශයේ දී නිවසක් තුළ නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීම සිදුකර ඇත්තේ ද මෙම සැකකරුවන් තිදෙනා බවටත් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත.

ඒ සඳහා වව්නතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනයෙන් පසු ලබාගත් රිවෝල්වර් අවි යොදාගෙන ඇති බවත් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි.

අදාළ සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

Read more

Local News