නීතිය තදයි – ජාතිවාදය පතුරවන්න එපා

Share

ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන් ආගම් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ කටයුතු කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසී යටතේ කිසිදු තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළොඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන අය පිළිබඳව අවධානයෙන් සිටින බවයි.

එසේම අසත්‍ය ප්‍රකාශ සිදුකරන, කටකතා පතුරවන, ඒ සඳහා කුමන ආකාරයේ හෝ මාධ්‍යයක් භාවිත කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවල එරෙහිව හදිසි නීති රෙගුලාසී යටතේ ක්‍රියාකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි.

ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන සහ ක්‍රියා සිදුකරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව අදාළ නිවේදනයේ සඳහන්ය.

එම නිසා මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මහජනතාවට කණ්ඩායම්වලට සහ ඒවා ප්‍රකාශයට පත්කරන ආයතන වෙත තරයේ දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර නොයෙකුත් සාමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින් පිළිබඳව විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.

Read more

Local News