බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවීම පිළිබඳ විමර්ශන අරඹයි

Share

නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම ඩ්‍රෝන යානාව විදුලි බලාගාරයට ඉහළින් ගමන් කරන ආකාරය එහි සේවය කළ නිලධාරින් කිහිපදෙනෙකු දැක ඇති බව වාර්තා වෙයි.

බලාගාරයට ඉහළින් ඉතා වේගයෙන් මෙම ඩ්‍රෝන යානය ගමන් කර ඇති බවට ඔවුන් විසින් නොරොච්චෝලේ පොලීසිය දැනුවත් කර ඇත.

මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආරක්ෂාව සඳහා යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති බව නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඩ්‍රෝන කැමරාවක් උපයෝගි කරගනිමින් හික්කඩුව මුහුදු තීරය ඡායාරූප ගත කරමින් සිටි ඉන්දියානු ජාතිකයෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බව සඳහන්ය.

Read more

Local News