Peace TV ලාංකික ආයතන විසින් අත්හිටුවයි

Share

ඉස්ලාමීය දේශකයෙකු වන සකීර් නයික් නැමැති පුද්ගලයා විසින් හිමිකාරිත්වය දරණ Peace TV රූපවාහිනිය, අප්‍රේල් 21 එනම් පාස්කු ඉරු දින සිදුවූ මාරාන්තික බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ කේබල් ක්‍රියාකරවන ආයතන ද්විත්වයක් විසින් අවහිර කර ඇති බව වාර්තා වෙයි.

එසේම ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් විසින් ද මෙම නාලිකාව තහනම් කර ඇති බවට වාර්තා වී ඇති අතර, එම රටවල තරුණ තරුණියන් ISIS මතධාරීන් බවට පොළඹවාගැනීමක් මේ හරහා සිදුවන බව වාර්තා වල දැක්වීම ඊට හේතු වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට දිවයිනේ විශාලතම කේබල් ක්‍රියාකාරී ආයතන ද්විත්වයක් විසින් සකිර් නයික් නැමැත්තාගේගේ Peace රූපවාහිනියේ විකාශන කටයුතු නවතා දමා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනයක් තවමත් සිදුකොට නොමැත.

ඉන්දීය ජාතික විමර්ශන ආයතනය (NIA) පසුගිය සඳුදා ISIS සමඟ සබඳතා ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු කේරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

එම පුද්ගලයා සහ ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරුම් මාලාවේ ප්‍රධාන බෝම්බකරු බවට සැළකෙන සහරාන් හෂීම් නැමැත්තාද සකිර් නයික්ගේ දේශන සඳහා සවන් දී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම ඉස්ලාමීය දේශක නයික් නැමැත්තා පිළිබඳව ඉන්දියානු ආයතන විසින් 2016 වසරේ සිට විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි.

ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම පුද්ගලයා ඉන්දියාවේ දි අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා දැනට මැලේසියාවේ ජීවත් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරවීම් පිළිබඳ වගකීම ඉස්ලාමීය රාජ්‍ය (IS) භාරගෙන ඇති බවට නිවේදනය කෙරුණු අතර එහි නායක අබු බක් අල්-බැග්ඩෑඩි මෑතක දී නිකුත් කළ වීඩියෝවේ දක්වා තිබුණේ අදාළ ප්‍රහාරය පළිගැනීමක් ලෙස සිදුකළ එකක් බවය.

Read more

Local News