සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න

Share

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම පිළිබඳ ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව කි්‍රයාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟිමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.

විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන ද කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත ගෙනයාම සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත එම කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලූ පිළිබඳ ද සාකච්ඡා කෙරිණි.

ඇමතිනි තලතා අතුකෝරාළ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් සහ වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News