මහජන ආරක්ෂාව සහතික කරනවා – අගමැති

Share

මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා රජයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව හමුවේ බලපා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ප්‍රමුඛ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ප්‍රහාරයට සම්බන්ධ සෑම සැකකරුවකුම නීතිය රැහැනට හසු කර ගන්නා තෙක් එම අවදානම නොඅඩුව පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ඉන් පසු රට නැවතත් සුපුරුදු තත්ත්වයට පත් වනු ඇති බව ද පවසා සිටියේය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින්, වාර්ගික ගැටුම් ඇති නොවන අයුරින් සෑම පුරවැසියකුගේම ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බව ද නියෝජිත පිරිස එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පවසා සිටියහ.

මතභේද වළක්වා ගැනීම පිණිස, ගැටලු සහගත තත්ත්වයන් නිරාකරණය කරගැනීම සඳහා නිළ මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස පත් කළ පුද්ගලයකු ලවා දිනපතා ආරක්ෂාව පිළිබඳ නිවේදන ඉදිරිපත් කිරීම සුදුසුයැයි නියෝජිත පිරිස යෝජනා කළහ.

රජය කෙරෙහි සිය විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය.

එහිදී නියෝජිත පිරිස තමන්ට බලපාන ගැටලු බොහොමයක් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර, එම ගැටලු සහගත තත්ත්වයන් සමනය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ද ඉදිරිපත් කළහ.

රටේ දේශපාලන නායකයින් අතර සහයෝගීතාව සහ මනා සම්බන්ධතාව ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ එම නියෝජිත පිරිස, මෙම උවදුර මර්දනය කිරීම සඳහා දේශපාලන නායකත්වය විසින් සියලු ආකාරයේ භේද පසෙක ලා සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

Read more

Local News