ත‍්‍රස්ත විපත මර්දනයට චම්පිකගේන් පස් මඟක්

Share

මෙම ත‍්‍රස්ත කි‍්‍රයා පරාජය කිරීමට නම් මේ ත‍්‍රස්ත ක‍්‍රියාවලට ඍජුව හා වක‍්‍රව සම්බන්ධ වී ඇති සමාජ තලයන් හා ඒවායේ බලපෑම පුළුල්ව හඳුනාගත යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පළමුව ඍජුවම පුද්ගලික වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් සිටින ජිහාඩ් ත‍්‍රස්තවාදීන් හඳුනාගත යුතු බවත් ඔවුන් හිංසාකාරී ක‍්‍රියා කිරීමට, ගැටුම් ඇති කිරීමට සටන් පුහුණුව ලැබූ පිරිසක් බවත් අමාත්‍යවරයා සඳහන්  කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය නිල ෆේස් බුක් පිටුව වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමිනි.

ඔවුන්ට පිළිතුරු දිය යුත්තේ නිසි තොරතුරු මත ඔවුන් හඳුනාගැනීමෙන් පසු ප‍්‍රති ත‍්‍රස්ත ප‍්‍රහාරයන් මගින් ඔවුන් සම්පූර්ණයෙන්ම නිෂ්ක‍්‍රිය කිරී‌මෙන් බවද එමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දෙවනුව මේ ජිහාඩ් ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරිකයන්ට අවශ්‍යකරණ සැපයීම්, සම්බන්ධීකරණය, එමෙන්ම අන්තර්ජාලයේ නව පිරිස් බඳවා ගැනීම හා ව්‍යාප්තිය සිදුකරන සහායක කණ්ඩායම් සිටීමයි.

මතවාදීමය වශයෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම ජිහාඩ් ත‍්‍රස්තවාදීන්ගේ මතවාදයේ සිටිනා නමුත්, ඍජුව හිංසාකාරී ක‍්‍රියා හෝ ගැටුම්වලට මැදිහත් නොවී සිටී. මේ රැඩිකල් ජිහාඩ් කාඩරය හඳුනාගැනීම හා ඔවුන් නිෂ්ක‍්‍රීය කිරීමට අවශ්‍ය වන්නේ, ඔවුන් ඇතැම් විට පුද්ගලයන් හැටියට හෝ කණ්ඩායම් හැටියට හෝ ත‍්‍රස්තවාදීන් හැටියට ක‍්‍රියාකිරීමට හැකි නිසාය.

අපේ රට තුළ මෙවැනි පිරිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සිටිනා බව අන්තර්ජාලයේ හා අනෙකුත් කාරණා නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී ගොස් තිබේ.

ඊළඟ කණ්ඩායම වන්නේ මේ ජිහාඩ් රැඩිකල් මතවාද දරන්නන්ය. ඔවුන් අන්තර්ජාලයේ කුඩා කණ්ඩායම්, ඒ වගේම රට පුරා විසිරී ඇති රැඩිකල් පල්ලි, මද්රාසා හා අධ්‍යාපන මධ්‍යස්ථාන, එමෙන්ම විදේශීය අධ්‍යාපන හා ව්‍යාපාරික මධ්‍යස්ථාන සමග සබඳතා දරයි. මොවුන් ඇතැම් විට සමාජයේ ඉහලම සමාජ කණ්ඩායම් සමග සම්බන්ධ වී සිටින්නට පුලූවන්.

මොවුන් සම්පූර්ණයෙන්ම හිංසාවාදී හෝ සටන් ක‍්‍රියා පිළිබඳව මැදිහත්වීමක් සිදු නොකරන නමුත් මේ මතවාදය දරමින් හිංසාකාරී ක‍්‍රියාවන් සඳහා අවශ්‍යකරන පුද්ගලයන් බඳවා ගැනීමේ ඒ දඩබිම් ලෙස ක‍්‍රියාකරයි.

මොවුන් විශාල පිරිසක් මේ රැඩිකල් පල්ලි විශේෂයෙන්ම තවුහිද් ජමාද් ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර ගණනාවක රැඩිකල් පල්ලි හරහා සබඳතා පවත්වන අතර, අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිටී. මොවුන් අතර පුද්ගලයින් හැටියටත්, සමාජ කණ්ඩායම් හැටියටත්, ස්වේච්ඡා සංවිධාන හැටියටත් දේශපාලන කල්ලි කණ්ඩායම්වල හා නායකයින්ගේ රැකවරණය යටතේත් ක‍්‍රියාකාරී වන බව පෙනී යයි. ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථ පිරිස් මේ පිරිස් හඳුනාගෙන ඔවුන්ගේ පල්ලිවලට නීතිමය රෙගුලාසි යොදාගැනීමෙන් හා මොවුන් නිර් රැඩිකල්කරණයකට ලක්කිරීම සඳහා වන වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතුය.

විශේෂයෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් තම රටවල්වල බෝම්බ පිපිරීම පාලනය කිරීම සඳහා මෙම ජිහාඞ් මතවාද දරන්නන් නිර් රැඩිකල්කරණය කිරීම සිදු කරයි. මෙය බටහිර ලෝකය ද සිදුකරන ක‍්‍රියාවකි. මීට වඩා පුළුල් ක‍්‍රියාකාරීත්වයක් හඳුනාගත හැක්කේ සමාජ බෙදුම්වාදී ක‍්‍රියාමාර්ග මගිනි.

රටතුළ කුඩා අරාබියක් නිර්මාණය කිරීම මේ අයගේ අරමුණයි. නීතිය හැටියට ශරියා නීතියත්, ආහාර හැටියට හලාල් ආහාරත්, වස්ත‍්‍ර අරාබියේ වස්ත‍්‍රත්, භාෂාව අරාබි භාෂාවත්, අධ්‍යාපනය මද්රාසා අධ්‍යාපනයනත් ඇතුලූව රටතුළ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයකට වඩා අරාබි අනන්‍යතාවයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි. අවාසනාවකට මෙන් කලක් මධ්‍යස්ථ පිරිසක් හැටියට සිටි තබ්ලිග් ජමාත් ව්‍යාපාරයේ මැදිහත්වීම ද මෙයට සිදුවී තිබේ. ඉන්දියාවේ ඇතිවූ තබ්ලිග් ජමාත් ව්‍යාපාරය කුරානයට නිවැරදි කියවීම කරන්නේ තමන් යැයි කියා සූපීවාදීන්ට විරුද්ධව ගෙන ගිය ක‍්‍රියාකලාපයත් සමග මෙය ඇතිවී ඇත.

මේ සමාජවාදී බෙදුම්වාදී පිරිස්වල අරාබිකරණය නිර් අරාබිකරණයක් කළ යුතුය. ඒ සඳහා මුස්ලිම් සමාජය මෙන්ම රටේ නීති ද ඇතිකළ යුතුය. මේ රටේ එක් එක් කොටස්වල ශරියා නීතිය පවත්වාගෙන යෑමට ඉඩදිය නොහැකි වන අතර, මේ රටේ භාෂාවක් ලෙස අරාබි ඉගෙනගැනීමට අයිතියක් තිබුණත් එය රටේ ප‍්‍රකාශන භාෂාවක් ලෙස භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.

එමෙන්ම ආහාර වස්ත‍්‍ර හා අනෙකුත් කාරණාවලදී සමාජ බෙදුම්වාදයක් ඇතිවීමට ඉඩ නොදී සමාජ එකමුතුභාවයක් ඇතිවන පරිදි ක‍්‍රියාකළ යුතුය. මේ ආකාරයට අනෙකුත් ආගමික පිරිසුත් ක‍්‍රියාකලොත් රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වෙනවා ඇත.

බෞද්ධයින් බෞද්ධ ආහාර පමණක් ගැනීමට ගියහොත්, හින්දූන් හින්දු ආහාර පමණක් ගැනීමට ගියහොත්, ක‍්‍රිස්තියානුවන් ක‍්‍රිස්තියානි ආහාර පමණක් ගැනීමට ගියහොත්, ප‍්‍රශ්න ඉතාමත් බරපතල වනවාට කිසිදු සැකයක් නැහැ.

අපි දන්නා කරුණ වන්නේ බෞද්ධයන් පිරිත් නූල ගැට ගසනවා ඔවුන් බෞද්ධ බව පෙන්වන්න. ඒ වගේම ක‍්‍ර‍්‍රිස්තියානුවන් කුඩා කුරුසයක් පැළඳගන්නවා ඔවුන් ක‍්‍රිස්තියානි බව පෙන්වන්න. හින්දූන් මුහුණේ මොට්ටුව තියාගන්නවා ඔවුන් හින්දූන් බව පෙන්වන්න.

මෙවැනි අහිංසක ක‍්‍රමවේදයක් මගින් තමන්ගේ ආගමේ අනන්‍යතාවය පෙන්වීම හා ආහාර, වස්ත‍්‍ර, භාෂාව, අධ්‍යාපනය හා අනෙකුත් සෑම ආකාරයකින්ම සමාජ බෙදුම්වාදයක් ප‍්‍රකාශයට පත්කිරීම කිසිසේත්ම සංස්කෘතික අනන්‍යතාවයක් නොවේ. මේ සමාජ බෙදුම්වාදය ත‍්‍රස්තවාදය කරා ගමන් ගන්නා මාර්ගයෙ එක් පළමු පියවරක් බව හඳුනාගත යුතුයි.

ඒ නිසා මේ නිර් අරාබිකරණය හතරවැනි පියවරයි.

එමෙන්ම මේ රටේ 80%කට වැඩිය සිටින්නේ සාමකාමීව මේ රටේ ව්‍යාපාර කටයුතු කළ, ගොවිතැන් කටයුතු කළ මුස්ලිම් ජනතාවයි. ඒ මුස්ලිම් ජනතාවගේ මුස්ලිම් අනන්‍යතාවය මේ රටේ කිසිදු ප‍්‍රශ්නයක් නැතිව සියවස් ගණනාවක් පැවතිලා තියෙනවා. විශේෂයෙන්ම 20 වැනි සියවසේ ඉතාම හොඳින් මේ තත්ත්වය පැවතිලා තියෙනවා.

මේ එකමුතුව අපෙ දේශපාලනයේත් දැකලා තියෙනවා. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඔවුන් එකතුවෙලා දේශපාලනය කරලා තියෙනවා. මුස්ලිම් කොන්ග‍්‍රසය බිහිවෙන තාක්කල් මේ මුස්ලිම් අනන්‍යතාවයේ එකමුතුව එක්සිත් භාවය වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා අපි මේ මුස්ලිම් අනන්‍යතාවය සහිත මේ සම්ප‍්‍රදායික සාමලැදි මේ පිරිස වැඩි වැඩියෙන් වැඩි දියුණු කිරීමට වැඩි වැඩියෙන් ප‍්‍රබෝධමත් කිරීමට වැඩි වැඩියෙන් ඔවුන්ට ශක්තිය දීමට කටයුතු කළ යුතුයි.

ඒ ශක්තිය මගින් ඔවුන්ට තමන්ගේ සමාජය තුළම සිටින මේ පාපතර පිරිස, මේ ත‍්‍රස්තවාදී පිරිස සහ ඊට උදව් දෙන මේ පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීමට ඔවුන්ට ශක්තිය ලබාදිය යුතුයි.

මෙම පියවර පහ මෙම සමාජ තලයන් පහට අපි අනුගමනය කළ යුතුයි. ත‍්‍රස්තයින්ට ප‍්‍රති ත‍්‍රස්ත ප‍්‍රහාරයත්, එමෙන්ම රැඩිකල් මතවාද දරන්නන් හඳුනා ගැනීම හා නිශ්ක‍්‍රියකරණයත් ඒ වගේම ජිහාඩ් මතවාද දරන්නන්ගේ නිර්රැඩිකල්කරණයත් ඒ වගේම සමාජ බෙදුම්වාදය සහ අරාබිකරණය යෝජනා කරන අයට නිර්අරාබිකරණයත් සාමකාමී මධ්‍යස්ථ මුස්ලිම්වරු එකමුතුව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කළ යුතුයි.

මේ පංච වැඩ පිළිවෙල ත්‍රස්තවාදය පරාජය කිරීමට අප රට තුළ සමාජමය වශයෙන් අද අත්‍යාවශ්‍ය යැයි පැවසීය.”

Read more

Local News