හොරොව්පතාන OICට අල්ලස් දෙන්න ගිය සැකකරු රිමාන්ඩ්

Share

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකුට ඇප ලබා ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු, ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මුක්කර වැව, හොරොව්පතාන, ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් ගපූර් මොහොමඩ් ෂිෆාන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු ලබන 21 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් හට මෙහිදී  නියෝග කළේය.

තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන  සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේම පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති සැකකරුවෙකු හොරොව්පතාන  පොලීසිය ඉකුත් 28 වනදා අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණි.

එම  සැකකරුගේ ඉදිරි නඩු දිනයේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා එම සැකකරුගේ ඥාති පුත්‍රයෙකු, ලක්ෂ 5ක මුදලක් හොරොව්පතාන පොලිස්  ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාට ලබා දීමට කැමැත්ත පළකර ඇති අතර,  එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබා දීමට යාමේදී අද (8දා) ⁣මෙම 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Read more

Local News