ගෝඨාගේ කාලයේ සිදුවූ දෙයක් මෙන්න

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ අවධියේදී රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදා ගෙන, ඒවා විශේෂ අධ්‍යයනයකට යොමුකර, එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙමින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගත් බව එක්සත් ජනපද හිටපු තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා පවසයි.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවද ඒ අයුරින් ක්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරීම ගැන සිතා බැලිය යුතු යැයි එක්සත් ජනපද දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙන්ම, ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති අවසන් සමයේ (2006 – 2009) එක්සත් ජනපද හිටපු තානාපතිවරයාද වන රොබට් ඕ. බ්ලේක් මහතා අවධාරණය කරයි.

හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ BMICHහිදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. පාත්ෆයින්ඩර් පදනම සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් එම වැඩසටහන සංවිධානය කර තිබුණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ. බ්ලේක් මහතා,

“සැප්තැම්බර් 11දා ප්‍රහාරයෙන් ඇමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාගැනීමට පුළුවන්. අප අතින් සිදුවූ විශාලතම අත්වැරැද්ද සැප්තැම්බර් 11දා ප්‍රහාරයයි. එහිදී, බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, විශේෂයෙන් FBI සහ CIA සංවිධාන සහ විවිධ නීති ක්‍රියාත්මක කරනවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත් වී තිබුණා.

ඒ නිසා, අන්තර් ආයතන සන්නිවේදන හා සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා. ඒ කමිටුවට සියලුම බුද්ධි සංවිධාන හා නීති ක්‍රියාත්මක කරවන ආයතනවල ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් යොදා ගත්තා. ඔවුන් සති පතා රැස්වී සියලු ඇමෙරිකානු බුද්ධි තොරතුරු හුවමාරු කරමින්, ඒවායේ විශ්වසනීයත්වය තහවුරු කර ගත්තා.

මෙහිදී, වඩාත් වැදගත්ම දේ නම් ඔවුන් ඒ විශ්වසනීය දේවලට එරෙහිව පියවර ගත්තා. එමෙන්ම, එක් ඒක පුද්ගලයාට තනි තනිව මෙහිදී වගකීම් පැවරීම සිදුවුණා. මෙසේ කටයුතු කළ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නෑ.

අපට දේශීය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්, ISIS සහ අල්-කයිඩා වැනි සංවිධාන පැරීසිය සහ වෙනත් තැන්වලදී ප්‍රහාරය දියත් කළත්, අපට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් අපොහොසත් වුණා. ඇත්ත වශයෙන්ම කියතොත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ යුද්ධය පැවති අවධියේ ශ්‍රී ලංකාවේ මෙවැනි කණ්ඩායමක් පැවතුණා. ඔහු පෞද්ගලිකව එය හෙබවූවා. රට පුරා විහිදුණු බුද්ධ අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙනු ලැබුවා.

ඔවුන් එහිදී එම තොරතුරු විශේෂ අධ්‍යයනයකට යොමු කරමින්, ඒ තුළින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගනු ලැබුවා. මම හිතන්නේ, වත්මන් ආණ්ඩුව ඒ අයුරින් ක්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරීම ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම, ISIS හෝ වෙනත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමටත් ශ්‍රී ලංකාව වඩාත් සැලකිලිමත් විය යුතුයි. යනුවෙන් පවසා සිටියේය.

Read more

Local News