ප්‍රහාරය කල සැකකරු හඳුනා ගන්න DNAවාර්තා කැඳවයි

Share

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ට ඉකුත්දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලීසියට නියම කළේය.

රහස් පොලීසිය විසින් අධිකරණයට පත් කළ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කෙරුණේය.

රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තිදෙනා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කියා සිටියේය.

එමෙන්ම අදාළ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු පිළිබඳව නිශ්චිත හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවා ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔවුන් මෙම අපරාධය සිදු කිරීම සඳහා මෙම සැකකරුවන් ආධාර අනුබල දී ඇති බවට සැක පළ වී ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළ බව රහස් පොලීසිය දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අතර ඔවුන් නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද නියම කළේය.

Read more

Local News