පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් – ජනපති

Share

ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජම්යතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

මෙහි දී ජනාධිපතිතුමා කියා සිටියේ අද දවසේ රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඬ නැඟීම නොව, ප්‍රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත්වන සියලු ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැඟීම සඳහා වගකීම් ඉටු කිරීම බවයි.

ව්වේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේශ සහගත විවේචන සේම තොරතුරු නොදැන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස් දේ බවට පත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

බහු ආගමික රටක් ලෙස කිසිදු ආගමිකයෙකු අපහසුතාවයට පත් නොකළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

එබැවින් පාර්ලිමේන්තුවේ දී, ජන සමාජයේ දී හෝ කොතැනක හෝ තම හඬ අවදි කිරීමේ දී රටේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

Read more

Local News