ලාංකික කතක් නිසා අමෙරිකානු කතකට වසර 20ක සිර දඬුවමක්

Share

ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 9ක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් වැටුප් රහිතව ගෘහ සේවය සඳහා ‍යොදාගෙන විවිධ හිංසනවලට ලක් කළ බවට චෝදනා එල්ල වූ අමෙරිකානු ජාතික කාන්තාවක් එරට අධිකරණයක් හමුවේ වරදකරු වී ඇත.

නිව් ජර්සි ප්‍රාන්තයේ පදිංචිකාරියක් වන 43 හැවිරිදි මෙම සැකකාරිය තාවකාලික වීසා මත 2009 වසරේ දී අමෙරිකාවට ගිය අදාළ ශ්‍රී ලාංකික කාන්තාව බලහත්කාරයෙන් සිය නිවසේ රඳවා ගෙන සිට ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලාංකික කාන්තාවගේ වීසා කාලය ඉක්මවා ගිය ද ඇය නීති විරෝධීව තවදුරටත් සිය නිවසේ රඳවා ගනිමින් තම දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු සිදුකර ගෙන ඇති සැකකාරිය ඒ සඳහා ඇයට කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව නඩු විභාගයේ දී අනාවරණය වී ඇත.

එම කාලය පුරාවටම ඇයට අදාළ නිවසෙන් පිටව යාම ද සැකකාරිය තහනම් කර තිබූ බව සඳහන්ය.

සැකකාර කාන්තාව ජෝර්දානයේ සිට පැමිණ අමෙරිකානු පුරවැසිභාවය ලැබූ අයෙකු වන අතර සිය ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද වී දරුවන් තිදෙනා සමඟ අදාළ නිවසේ තනිව වාසය කර ඇති බව වාර්තා වෙයි.

බලහත්කාරයෙන් සේවයේ යොදවා ගැනීම ඇතුලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඇයට වසර 20ක උපරිම සිර දඬුවමක් නියම වනු ඇති අතර එම තීන්දුව ලබන සැප්තැම්බර් මස 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News