මට ආරක්ෂා කරන්නවත් සඟවන්නවත් කවුරුවත් නෑ

Share

පසුගිය 21 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම සම්බන්ධව රට තුළ මතුවෙමින් තිබෙන කරුණු පිළිබඳව සැකයක් තිබෙනවා නම් ඒ සැකය දුරු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම උචිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

එහිදී තමන්ට අරක්‍ෂා කරන්නවත් සඟවන්නවත් කවුරුත් නැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

රටේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය නිසා ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂ දේශපාලනඥයින් හා පාර්ලිමේන්තුව කෙරෙහි ද ජනතා විශ්වාසය පළුඳු වූ බවත් අප කළ යුත්තේ ඒ විශ්වාසය යළි ගොඩනඟා ජන ජීවිතය යථාතත්වයට පත් කර රට ඉදිරියට ගෙන යෑම බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඇල්පිටියල මෙරිකිඩ්ස් උත්සව ශාලාවේදී ඊයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“බෝම්බ සිදුවීමේ සිද්ධිය හා ඊට පසු ඇතිවූ තත්ත්වය පිළිබඳව දින තුනක විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණා. එහිදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කළා.

නමුත් ඇතැම් අය සම්පූර්ණයෙන්ම දේශපාලනය ගැන කතා කිරීමට ඒ විවාදය යොදා ගත්තා. ජනතා විශ්වාසය යළි ගොඩනැංවීමට ඒ අයගෙන් කිසිම සහයක් ලැබුණේ නැහැ. ඒ ගැන මා කණගාටු වෙනවා.

මේ විවාදයයේදී ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා කළ කතාවක් ගැන මාගේ විශේෂ අවධානයක් යොමු වුණා. බෝම්බ පිපිරීමේ සිද්ධිය ගැන සොයා බලන්න පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බව එතුමා ප්‍රකාශ කළා.

බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධව විවිධ චෝදනා එල්ල වෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් මේ චෝදනා සියල්ල පිළිබඳව සොයා බැලිය හැකියි. අපි නම් කවුරුත් ආරක්‍ෂා කරන්න යන්නේ නැහැ.

මේ සිද්ධිය සම්බන්ධව සොයා බලන්න ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

අද ඇතැම් අය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව පැත්තෙන් පත් කළ එම කොමිෂන් සභාව ප්‍රමාණවත් නැහැ කියායි.

එසේ නම් සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් මේ ඕනෑම කාරණයක් පිළිබඳව විමසා බැලිය හැකියි එහිදී බයවෙන්න දෙයක් නැහැග සඟවන්න දෙයක් නැහැ.

ආරක්‍ෂා කරන්න කවුරුත් ඇත්තේ නැහැ. අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙය විවෘතව සොයා බලන්න. ඒවා හෙළි කරන්න. කවුරුන් හෝ තමන්ගේ වැඩකටයුතු සිදු කර නැත්නම් තම වගකීම ඉටු කර නැත්නම් ඒ බව හෙළි කර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.

මෙම යෝජනාවට සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරු අත්සන් කර තිබෙනවා. බෝම්බ පිපිරුණු දිනයේ මා මේවා ගැන කතා කරන්න ගියේ නැහැ. එදා මා ක්‍රියා කළේ රටේ ස්ථාවර භාවය ඇති කිරීමටයි. නමුත් අතීතයේ සිදු වූයේ කුමක් ද කියා දැන් සොයා බැලිය හැකියි.

මේ සම්බන්ධව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම හොඳ පියවරක් බව හිටපු ජනාධිපතිතුමා ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධව පක්ෂ අතර බේදයක් නැති බව පැහැදිලියි.එසේ නම් සියලූ දෙනා එකමුතුයි. කුමක් ද සිදුවුණේ කියා සොයා බැලිය හැකියි.

මෙවැනි සිද්ධීන් අනාගතයේ ඇති නොවන ලෙස අලූත් ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇති කර ගන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.”යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News