තව්හිද් ජමාත් සංවිධානයේ සංයුක්ත තැටි ළඟ තබා ගත් මාධ්‍යවේදියා රිමාන්ඩ්

Share

තව්හීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔහුව මේ මස (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  අද  (13දා)  නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උදය මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියෙකු බව කියා ගන්නා හා උතුරුමැද පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීධූරයක් හිමිකර ගැනීමට තරගකර අන්ත පරාජයට ලක්වූ මොහොමඩ් රිස්වි මහරූෆ් නැමත්තායි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කල අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්.කේ.යසරත්න මහතා කියා සිටියේ ජනමාධ්‍යවේදියෙකු බව කියන සැකකරු ත්‍රස්තවාදය වැලක්වීමේ 379 දරන පනතේ 48 දරන (තාවකාලික) විදිවිදානයට අනුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

සැකකරුට අයත් බව කියන අනුරාධපුර උදය මාවතේ පිහිටි නිවස යුද හමුදාව හා පොලිසිය එක්ව පසුගිය (12දා) සිදුකල පුර්ණ පරික්ෂාවකදී එහි තිබී සැකකටයුතු සංයුක්ත තැටි 322 ප්‍රමාණයක් සොයාගත් බවත් එම සංයුක්ත තැටි අහඹු ලෙස සිදුකල පරික්ෂාවේදි තවුහිද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන හා විවිධ ක්‍රියාකාරකම් සහිත විඩියෝ පට අනූවක පමණ ප්‍රමාණයක් හමුවූ බව උපපොලිස් පරික්ෂකවරයා අධිකරණයට කීවේය.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් සිදුවන බැවින් ඔහුට ඇප ලබාදීමට තරයේ විරුද්ධවන බව උපපොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

Read more

Local News