ජාතිවාදි අරගලයේ කසකරුවන් කවුද ?

Share

රටේ ස්ථාන කිහිපයක මතුව ඇති අවාසනාවන්ත ගැටුම්කාරී සිදුවීම් දේශපාලනීකරණය කරමින් තම අවස්ථාවාදී බල ලෝභී වුවමනාවන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් තවදුරටත් රට අස්ථාවර කරමින් සිටින බවත්  ඔවුන් සෑම දිනකම සිදු කළේ ජාතිවාදය, ආගම්වාදය සහ අන්තවාදය තුළ ජනතාව පීඩාවට පත් කරමින් තම බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඔහු අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කිරිමක් සිදු කර ඇත.

එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් ජාතිවාදී, ආගම්වාදී අරමුණු මත  හිඳිමින් ක්‍රියාත්මක වූ පක්ෂයක් නොවන බවත්  සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක් නිර්මාණය කරමින් බුදු දහමින් පෝෂණය වූද, සෙසු ආගම්වල ඉගැන්වෙන යහපත් චින්තාවන්ගෙන් ද පොහොසත් වූ ආකල්පයන්ගෙන් යුත් විවිධාංගීකරණය වූ ජන සමාජයක් තුළ සියල්ලන්ට ම එක්ව සිටින්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම අපගේ අරමුණ බවද  ඔහු අවධාරණය කරයි.

මැයි 13 වන දින රට තුළ විශාල කලබලයක් සිදු වෙතැයි කටකතා පතුරුවමින් ජන ජීවිතය අඩාල කොට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් කර රටේ පැවැත්ම අස්ථාවර කිරිමට උත්සාහ දැරූ අවස්ථාවාදීන්ගේ අරමුණු මේ වනවිට බිඳ වැටී ඇති බවත් ඔහු සඳහන් කරයි.

එම අරමුණු බිඳ වැටුණු පසු තවදුරටත් සාමාකාමී ජනතාව තුළ කලහකාරි අදහස් පතුරුවා භේද බින්න කොට ජන ජීවිතය අස්ථාවර කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වන බව මේ වනවිට සිදුවන පොලිස් පරීක්ෂණ හමුවේ ද අනාවරණය වෙමින් පවති. එම අන්තවාදීන් ගමින් ගමට යමින් කලකෝලාහල ඇති කරමින්, දේපළ විනාශ කරමින් ජනතාව ගැටුමකට පටලවා ගැනීමට උත්සාහ දරණ අයුරු පසුගිය දිනවල සිදු වූ අවාසනාවන්ත සිදුවිම් වලින් ද පෙනෙන්නට තිබේ.

එවැනි තත්ත්වයක් තුළදී වුවද බොර දියේ මාලු බාමින් ක්‍රියාකරන විපක්ෂ දේශපාලනඥයින් ජාතිවාදී අරගලයන් හි කසකරුවන් බවට පත් වෙමින් අප වෙත අභූත චෝදනා එල්ල කරමින් මේ සිදු කරමින් සිටින්නේ මෙරට ජන සමාජය අවුල් වියවුල් කිරීමේ ත්‍රස්තවාදින්ගේ වුවමනාවට උඩ ගෙඩි දීමකි.  එමෙන්ම ඔවුන් මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයින් පවා නොමඟ යවන සුඵ ප්‍රකාශ සිදු කරමින් සිටියි.

විපක්ෂයේ කාර්යභාරය සැමවිටම විවේචනය කිරීම, කුමන්ත්‍රණ කිරිම, නොවන බවත්, ජාතිවාදය, ආගම්වාදය වැනි සංවේදී කරුණු සමඟ දේශපාලන දාදු ක්‍රීඩාවේ නියැලෙමින් ජනජීවිත ව්‍යාකූල කිරීම මෙවැනි තීරණාත්මක අවස්ථාවක නොකළ යුතු බවත් මේ මොහොතේ කළයුතු වැදගත්ම කාර්යය වන්නේ සියල්ලන්ම එක්වී රට තුළ සාමයත්, ජන ජීවිතයේ අඛණ්ඩභාවයත් වෙනුවෙන් කටයුතු කරමින් ත්‍රස්තවාදය පරාජය කිරිම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News