කොන්ද පණ නැති පුද්ගලයින් ඉවත් කරන්න සූදානම්

Share

උද්ගතව ඇති තත්ත්වයන්ට මුහුණ දීමට යම් පුද්ගලයින්ට කොන්ද පණ නැත්නම් එම පුද්ගලයින් ඉවත් කිරීමට සූදානම් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ(14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘ජාතික මග’ රට රකින, රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට සහභාගී වෙමිනි.

මේ අතර ත‍්‍රස්තවාදය ඉදිරියේ පලායන්න, දෙදන නමන්න, අපේ දරුවන් හංගාගෙන ඉන්න අපට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම තවුහිද් ජමාද් ව්‍යාපාරය මේ රටේ ආගමික සහජීවනය, සංහිඳියාව නැති කරන්න පසුගිය දශකය තුළ තීරණාත්මක වැඩ කොටසක් සිදු කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපේ මේ රටේ ඉතිහාසයේ වැදගත් ජනාධිපතිවරණයක් අනාගතයේ එනවා. අපේ අතීතයේ 2010, 2015 පවත්වපු ජනාධිපතිවරණ හැර අනෙකුත් සෑම ජනාධිපතිවරණයක්ම හිංසාවාදය නිසා ඒ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට විකෘතියක් ඇති උනා.

ඡන්ද වර්ජනය කළා, හිංසාවාදය විසින් ආවේගශීලිව ඡන්දය පිළිබඳ තීරණ ගත්තා. ඒ නිසා මේ රටේ ඉරණම තීන්දු වෙන්න යන ඒ ජනාධිපතිවරණයත් ලේ වැකුණු හිංසාවාදී කි‍්‍රයාවලින් අපි ඒ කැළැල්කරගත යුතු නැහැ.

සාමකාමී වටපිටාවක එය පැවැත්වීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ මේ ත‍්‍රස්තවාදයේ ඉතුරු බිතුරු සොයලා විනාශ කරන්නත් අපේ සාමාජය ශක්තිමත් ඉදිරියට ගෙනයන්නටත් අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම FBI එකෙන් උපදෙස් ගන්න කලින් අසල්වැසි නවීකරණය වූ ඉස්ලාමීය රටවල්වලින් අන්තවාදය පරාජය කරන ආදර්ශයන් අප ලබාගත යුතුයි.

ඒ වගේම අලූත් සබැඳියාවන් අපි ඇතිකර ගත යුතුයි. පරණ ඉස්ලාමීය ප‍්‍රශ්න, බෞද්ධ දෙමළ ප‍්‍රශ්න, කි‍්‍රස්තියානි  – බෞද්ධ ප‍්‍රශ්න මේ සියල්ල අපි අමතක කරලා අලූත් සබැඳියාවක් විසින් උතුරත් – දකුණත්, නැගෙනහිරත් – බටහිරත් එකට නැගී හිඳලා මේ ජාතික අභියෝගය ජයගන්න අපි කි‍්‍රයාකළ යුතුයි.

යම් අයෙකුට කොන්ද පණ නැත්නම්, යම් යම් අයට මේකට මුහුණ දීමට හැකියාවක් නැත්නම්, මේක මගහරිනවා නම් ඒ සියලු දෙනාවම ඉවත් කරන්න උනත් අපි අධිෂ්ඨානශීලි විය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන්න  ඕනේ, අද රටට අවශ්‍ය එයයි. රටට අවශ්‍ය ඒකාධිපතියෙක් නෙමෙයි.

පවුල්වාදයෙන් හෙම්බත් වෙච්ච රටක අවශ්‍යතාවය, එවැනි කි‍්‍රයාවලියකින් මතුවන පුද්ගලයෝ නෙමෙයි. අද රටට අවශ්‍යතාවය නිපුණතාවයත් එක්ක, කුසලතාවයත් එක්ක හැකියාවත් එක්ක මේ රටේ විවෘතව පැතිරී සිටින වෘත්තීයවේදීන්, දේශපාලන බේදයකින් තොරව හැම පක්ෂයකම සිටින පුළුල් එකමුතුවකින් මේ ත‍්‍රස්තවාදය ජයගෙන, මේ රටේ ජනතාවට තමන්ට සුදුසු ප‍්‍රජාතන්ත‍්‍රික විදිහට ඊ ළඟ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය පාලනය තෝරාගැනීමට ඉඩදීමයි.

ඒ සඳහා ඉදිරි කාලයේදී සෑම නගරයකම, සෑම වැඩබිමකම, සෑම ස්ථානයකම සංවිධානය වෙන්නැයි කියා ඔබෙන් ඉල්ලා සිටින අතර අපි ඔබ සමග එකතුව ඒ ගමන යාමට අධිෂ්ඨානයෙන් පියවර තබන ප‍්‍රකාශ කරමු, යැයි පැවසීය.“

Read more

Local News