ප්‍රහාරයට සම්බන්ධ 97%ක් අත්අඩංගුවට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කල්ලියේ 97% ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධව තවත් අත්අඩංගුවට ගැනීමට ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බවත් ඔවුන් පිළිබඳ  ද විමර්ශන කටයුතු කරගෙන යන බවත් ඔහු පැවසීය.

“එම කල්ලි සම්බන්ධයෙන් සුළුවෙන් හෝ සහයෝගය දුන් අය  ත්‍රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගන්නවා. රාජකාරි කරන ලෙස ආරක්ෂක අංශ සඳහා අපි පූර් ණ නිදහස, පූර්ණ බලතල ලබා දී තිබෙනවා. ඒ සඳහා කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ.

නාමල් කුමාර, අමිත් වීරසිංහ වැනි අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධතා තිබෙනවාද යන්න පරීක්ෂා කිරීම සඳහායි. ඉදිරියේදී ඒ සම්බන්ධ විධිමත් ප්‍රකාශයක් සිදු කෙරෙයි. තඹ කර් මාන්ත ශාලාවේ සේවකයන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ. ඔවුන් සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

වර්තමානයේ දී ජනමාධ්‍යයට අප කිසිම තහංචියක්, කිසිම බාධාවක් කරලා නැහැ. පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර වගකීමෙන් යුතුව රාජකාරි කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ විකෘති වී ප්‍රචාරය වුණා. ඒ නිසා ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා සහ ජාතීන් අතර භේද භින්න ඇති නොවන ලෙස රාජකාරි කරන්න කියා අපි විශේෂ ඉල්ලීමක් කළා.

එල්ටීටීඊ ත්‍රස්තවාදය භූමියක් වෙනුවෙන් සටන් කළ පිරිසක්. ඔවුන් සමග ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණට මුහුණ ගැටුණා. නමුත් මෙතැන තිබෙන්නේ වෙනම ත්‍රස්තවාදයක් ඒක ආගමික අන්තවාදී ත්‍රස්තවාදයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට පවා මේ ත්‍රස්තවාදී ප්‍රතිඵල අත්විදින්න සිදුව තිබෙනවා. ආගමික අන්තවාදය අනුව ක්‍රියාකරන අය පිළිබදන විමර්ශනය කෙරෙනවා. ත්‍රස්තවාදී වැඩ කරනවා නම් බුද්ධි අංශ මේ පිළිබඳව අවධානය යොමු කරමිනුයි සිටින්නේ. අන්තවාදී කණ්ඩායම් ඉන්නවා  නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

Read more

Local News