කථානායකගෙන් නිවේදනයක්

Share

පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිලිව සිදු කරන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන බහුතර මෛත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසලොස්වක පොහොය දිනය දක්වාම පැතිර ගිය භීතිය පතුරවන සුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවට මේ වනවිට ජනතාව අවබෝධ කර ගෙන ඇති බව කථානායකවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මුස්ලිම් ජනතාවට පීඩාවට පත් කරමින් ඔවුන්ගේ දේපල විනාශයට පත් කරමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේ තවත් දිගුවක් බව කථානායකවරයා සඳහන් කළේය.

මෙම සිදු වු ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයන්ටද විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් හානි සිදු ව ඇති  බව කථානායකවරයා අදාළ ලිපිය මඟින් සඳහන් කර තිබේ.

මෙවර වෙසක් උත්සවයේදි ඉස්මතු වු සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිඳ දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව කථානායකවරයා සඳහන් කරයි.

වර්ථමානය වන විට ඇති වු ගැටළුකාරී තත්වයන් සඳහා ස්ථිර ලෙස ගැටළු නිරාකරණය කර ගැනීමට වැදගත් පියවරයන් රැසක් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වී ඇති බව කථානායක කරූ ජයසුරිය මහතා අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Read more

Local News