බෞද්ධාගමේ වටිනාකම ඉස්මතු කළ යුතුයි

Share

ශ්‍රී ලාංකිකයන් මේ අවස්ථාවේ බෞද්ධාගමේ වටිනකම තේරුම් අරගෙන එය ඉස්මතුකළ යූතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා වජිර අබේවර්ධන මහතා පවසයි.

එවිට ත්‍රස්තවාදයට මේ රටේ කිසිදු ඉඩක් නොලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු සඳහා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී අදහස් දක්වමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් දක්වු අදහස්,

”රටේ දැන් විශාල බයක් ඇතිවෙලා තියෙනවා. මේ බයට හේතුවක් වෙලා තියෙන්නේ සමාජ ජාල ඔස්සේ ඇතැම් තරුණයන් ගෙනියන වැරදි ප්‍රචාරයන්. ඔවුන් අනියත බියක් මේ රටේ ඇති කරනවා.

අපි දන්නවා අවුරුදු 30ක කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධයේ දී ශ්‍රී මහා බෝධිය අසළ, දළදා මාළිගාව අසළ බෝම්බ පිපිරෙව්වා. අරංතලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළා. නමුත් ඒ සෑම අවස්ථාවක දීම අපේ මහා සංඝරත්නය ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කළා.

අපි අහිංසක මිනිසුන් ඝාතනය කළේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස් වෙලා. මේ වෙසට හේතුවී තිබෙන්නේ වැරදි ප්‍රචාරය. මහජනයා අතර ඇති බිය නැතිකිරීම ඉතා වැදගත් වෙනවා. බුදු දහමේ ඇති වටිනාකම් අපි තේරුම්ගත යුතුයි.

බුදු දහමේ සියලු දේ තිබෙනවා. මිනිසුන්ට මෛත්‍රී කරන්න. ඉවසන්න, දැහැමින් සෙමෙන් කටයුතු කරන්නා. රාජ්‍ය පාලනය ගැන, ග්‍රාමීය පාලනය ගැන පමණක් නොවෙයි බුදුන් වහන්සේ යුද්ධයට ගිය ලිච්ඡවි රජ දරුවන්ට පවා අවශ්‍ය උපදෙස් දී තිබෙනවා. මේවා අපි අධ්‍යයනය කළ යුතුයි. තේරුම් ගත යුතුයි. ”

මෙහි දී අමාත්‍ය වජිර අබේවර්ධන පවසා සිටියේ අයි.එස්.අයි.එස් ත්‍රස්තාවාදීන් ක්‍රියාත්මක වූ ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල පවා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අලුතින් නීති පැනවූ බවයි.

” ඇමෙරිකාවේ බුද්ධි අංශ කොතරම් ප්‍රබලව තිබුණත් 2001 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් ආරක්ෂක මූළස්ථානය වන පෙන්ටගනයටත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඔවුන් දැන සිටියේ නැහැ මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව.

නමුත් මේ ප්‍රහාරයත් සමග පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් එකතුවෙලා ත්‍රස්තවාදය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නව නීති ගෙනවිත් ත්‍රස්තවාදීන්ට පහර දීලා ඔවුන් විනාශ කළා. නමුත් අපේ රටේ මේ දේ කරන්න අවස්ථාවාදී දේශපලකයන් ඉඩ දෙන්නේ නැහැ. මේ ක්‍රමය වැරදියි. “

Read more

Local News