ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 65කට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුධ, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 65 දෙනෙකු සඳහා විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කර ඇත.

ඔවුන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමීමේ මෙම විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරෙයි.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි 2ක නිශ්ශබ්දතාවයකින් අනතුරුව පදක්කම් ප්‍රදානය ආරම්භ කෙරුණු අතර ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින හා විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු හට ජනාධිපතිවරයා විසින් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කර ඇත.

යුධ හමුදා නිලධාරීන් 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 13 දෙනෙක් මෙම පදක්කම්ලාභීන් අතරට අයත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Read more

Local News