අඩාලවූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කළ යුතුයි

Share

අඩාලවූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම ප්‍රධාන අරමුණ බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය යථා තත්ත්වයට පත්කිරීමට නාවික හමුදාව ලබාදුන් සේවය ප්‍රශංසනීය බව ඒ මහතා පැවසීය.

අමාත්‍ය කරුණානායක මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා කෲර ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු සහ ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

වරාය අධිකාරියෙන් ලබාදුන් පර්චස් 06 ක භූමියෙහි නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත මෙම කෞතුකාගාරය, දිවා ආහාර සහ දානමය මධ්‍යස්ථානය සහ මුලුතැන් ගෙය යන අංගයන්ගෙන් සමන්විත වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

“පසුගියදා ඇතිවූ කෲර ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට සිදුවූ අභාග්‍යසම්පන්න ව්‍යසනය, අපි මේ වනවිට  යථා තත්ත්වයට පත්කරගෙන යනවා.

එහි මූලික ක්‍රියාවන් තමයි අද ඇරඹුනේ. එම සිද්ධිය සිදුවු අවස්ථාවේ පටන් අපේ නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් සහ කැපවීමකින් මෙම ස්ථානය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා.

වරාය අධිකාරියෙන් ලබාදුන් පර්චස් 06ක භූමියක, ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ  ඉදිරි සංවර්ධන වැඩකටයුතු අද ආරම්භ කළා.

වතිකානුවෙනුත් අද විශේෂ නියෝජිතයෙක් මෙහි පැමිණිලා, අප සමග කණගාටුව බෙදාහදා ගනිමින් ශ්‍රී ලාංකික ජන  ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේ කාර්යයට සහභාගි වුණා “

Read more

Local News