ඥානසාර හිමි නිදහස් වෙයි

Share

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරනු ලැබිය.

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

උන්වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව තිබුණත් වෙනත් ගේට්ටුවකින් පිටතට වැඩම කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේ පසුගිය 2018 වසරේ අගෝස්තු මස 8 වන දාය.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4කට උන් වහන්සේ වරදකරු කරණ බවයි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ඥානසාර හිමිට එරෙහිව ඇති බවයි.

නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.

ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක,  රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබා දී තිබුණි.

මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Read more

Local News