ජනපති, තායි මහනායක හිමි ඇතුළු දූත පිරිස හමුවෙයි

Share

ශ්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දෙමින් යළි නැගී සිටින ශ්‍රී ලංකාව පිළිබඳ තම සතුට  පළ කළ  දූත පිරිස, සහෝදර බෞද්ධ රටක් ලෙස හැම විට ම තමන් ශ්‍රී ලංකාව සමඟ සිටින බව සඳහන් කළහ.

උන්වහන්සේලාගේ වැඩමකිරීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති දිගු කාලීන සමීප සබඳතාවය ද මෙහි දී සිහිපත් කළේය.

Phra Bhawanakhemakhun wat Maheyong හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වන දා ශ්‍රී ලංකාවට පැමිණි අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගැනීමට ද එක් විය.

එමෙන්ම නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැසකට බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීමට ද මෙම දූත පිරිස කටයුතු කළහ.

තායි බෞද්ධ දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුවට තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිති පූජ්‍ය රාස්සගල සීවලි නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ.

Read more

Local News