ISIS හා සම්බන්ධ වූ ප්‍රංශ වැසියන් 03කට මරණ දඬුවම

Share

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා, ඔවුන් සමග එක්වීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ඉරාක අධිකරණයක් මරණ දඬුවම පණවයි.

මෙසේ මරණ දඬුවමට යටත් වූ ප්‍රංශ ජාතිකයන් වූයේ කෙවින් ගොනට්, ලියනාඩෝ ලෝපෙස් සහ සලීම් මැක්චෝව් යන තිදෙනාය.

කෙසේ වෙතත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට දින 30ක කාලයක් හිමිව ඇත.

සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එකතුව සටන් වදිමින් සිටියදී එක්සත් ජනපදයේ සහාය ලබන සටන් කණ්ඩායම් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් ඉරාකය වෙත පිටුවහල් කළ අතර එහිදී, ඔවුන්ට එරෙහි චෝදනා විභාගයට ගැනුණි.

ඒ අනුව, මෙම තිදෙනා IS සැකකරුවන් ලෙස එල්ල මරා දැමෙන ප්‍රථම ප්‍රංශ ජාතිකයන් තිදෙනා බවටද පත්වනු ඇත.

එමෙන්ම, මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රංශය කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රංශ ජනපති මැක්රෝන් කියා සිටියේ එම ප්‍රශ්නය විසඳා ගැනීමේ ස්වෛරීත්වය ඉරාකය සතු වන බවයි.

Read more

Local News