තල් සංවර්ධන අරමුදල ආරම්භ කරයි

Share

යුද්ධයෙන් විනාශ උතුරු නැගෙනහිර ප්‍රදේශ දියුණු කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ආරම්භ කළ බවත් වත්මන් රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කොට අවසන් කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අරලියගහ මන්දිරයේදී පැවසීය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කර දෙන ලෙස කළ ඉල්ලීම්වලට අනුව මෙම අරමුදල ඇති කළ බවත් එම ප්‍රදේශවල ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් මේ අරමුදල හරහා ලබාදීමට හැකියාව තිබෙන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් වේගවත් කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙම අරමුදල යටතේ උතුරු නැනෙහිර යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කිරීමට සැලසුම් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ  වූ ප්‍රදේශ දියුණු කිරීම සඳහා අපි  මෙම අරමුදල ආරම්භ කළා. එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දෙන්න යැයි විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යතුමා අයවැය මගින් මෙම අරමුදලට මුදල් වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.
මෙම අරමුදලට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් බිලියන 7ක් අපි ලබා දෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස බලන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මේ වසරේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 50ක් පමණ වෙන්කර තිබෙන බව භාණ්ඩාගාර ලේකම්තුමා මා සමඟ පැවසුවා.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස 2000 ව්‍යාපෘතිය යටතේ විනාශ වූ නිවාස සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සිදුකෙරෙනවා. ඒවගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ ප්‍රදේශවලට මුදල් ලබාදෙනවා. අපේ රජය විසින් උපාධිධාරීන් විසි දෙදහසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන් කොටසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල උපාධිධාරීන්ට ලබාදීමට කටයුතු කරන බවත් පැවසිය යුතුයි. මේ ආකාරයට උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය සියලූ කටයුතු අපි සිදු කරනවා.
උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යුද්ධය නිසා ඇති වූ හානිය විශේෂයෙන් පැවසිය යුතු නැහැ. අප මේ ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එම නිසායි. මේ ප්‍රදේශ සංවර්ධනය කරන අතරතුර රටේ අනෙක් ප්‍රදේශවලත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන දිරිගැන්වීම් පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට නියමිතයි.
මේ අනුව රටේ සංවර්ධනය වෙනුවෙන් මේ වසර තුල අපි වැඩකටයුතු විශාල ප්‍රමාණයක් භාරගෙන තිබෙනවා. ඉන් පළමු කාර්ය විය යුත්තේ  වෙන්කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා වියදම් කිරීම බව මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවිර, දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්ධන්, ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස් අඩෙක්කලනාදන්,  ඩී. ශ්‍රීධරන්,  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටියහ.

Read more

Local News