NTJ සමඟ සබඳතා පැවැත්වු හොරොව්පොතානේ 5ක් රිමාන්ඩ්

Share

තවුහිද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට  අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (27) නියෝග කළේය.

ඉකුත් 24 වනදා උදෑසන අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්තවාදි  වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත යටතේ පොලීසියට ලැබී ඇති බලතල අනුව පැය හැත්තෑ දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අද (27)අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා  එලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ සංවර්ධන සහකාරවරයෙකු ලෙස සේවය කළ මොහිදින් බාවා නවුපර් (42), කැබිතිගොල්ලෑව ඇල්ලැව අරාබි පාසලෙහි විදුහල්පති සෙයුනිදින් තලිප තුල්ලා,(38) කන්තලේ අරාබි විද්‍යාලයේ  ගුරුවරයකු වන සෙනූල් ආබ්දින් ඉර්ෂාන්(36),වීරසොලෙ විදුහලෙ උපගුරුවරයෙකු ලෙස සේවය  කල ලෙබ්බේ තම්බී ජස්මින් (32)සහ නුර්ගෙ සකරියා (39) යන සැකකරුවන් පස් දෙනෙකු ය.

හොරොව්පොතාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට ලැබුණු තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ සහ නඩු අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හේරත්,ඇතුළු නිලධාරීන් කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගයෙන් හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවල දී ඉකුත් 24 වන දා උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය.

සහරාන් හසීම් නමැත්තා සමඟ  සහ තවුහිද් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇති මෙම සැකකරුවන් අනුරාධපුර, ත්‍රිකුණාමලය, කුච්චවේලි, යන ප්‍රදේශවල අන්තවාදී දේශනා පවත්වා ඇති බවටත් ත්‍රස්තවාදි ප්‍රහාරයට සැකපිට දැනට විදේශගතව සිටින ප්‍රධාන  සැකකරුවෙකු සමඟ  එක්වී ප්‍රදේශයේ  මුස්ලිම් ජනතාවට විවිධ ද්‍රව්‍යමය ආධාර සහ ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇති බවටත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ

Read more

Local News