කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කරලා

Share

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කුර්ආන් මද්‍රාසා පාසල් 1,680ක් තම දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කර තිබෙන බවත්, ඉන් 05ක් 2018 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

දුෂ්කර ප්‍රදේශවල පිහිටි කුර්ආන් මද්‍රාසා පාසල් 200ක  පරිපාලන වියදම් පියවා ගැනීම සඳහා රුපියල් 6,000 බැගින් ආධාර ලබාදෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම පසුගිය වසරේදී (2018) මුස්ලිම් පල්ලි 99ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 14.14ක් වැය කළ බවත්, ඊට අමතරව අරාබි විදුහල් 06ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.7ක්ද, අහදියා දහම් පාසල් හා හිෆ්ලුල් කුර්ආන් මද්‍රාසා පාසල් 07ක් සංවර්ධන සඳහා රුපියල් මිලියන 1.3ක්ද වැය කළ බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පසුගිය වසරේදී දිවයින පුරා ඉස්ලාම් ආගමික පූජකවරුන් 230ක් සඳහා හැඳුනුම්පත් නිකුත් කර තිබෙන බවත්, නව ඉස්ලාම් පල්ලි 62ක් හා පුණ්‍යභාර 05ක් ලියාපදිංචි කර  අභිනවයෙන් පත් වූ භාරකරුවන් 414කට පත්වීම් ලබාදී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම වකුෆ් සභාව විසින් විභාග කර ලබාදුන් තීරණයන්ට එරෙහිව වකුෆ් විනිශ්චය සභාවට නඩු 10ක් ඉදිරිපත් වී තිබෙන බවත්, තීන්දු නොදුන් දැනට විභාග වෙමින් පවතින නඩු 34ක්ද, මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ නඩු 02ක්ද, දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ නඩු 01ක්ද පවතින බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News