අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Share

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදාහැරිය බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ හෙට(29) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අමිත් වීරසිංහ ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූවේය.

රිමාන්ඩ් භාරයේ පසුවූ එම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවනු ලැබුවේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයා ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අදාළ කරුණු දැක්වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි.

මුස්ලිම් ජාතීකයින් අතර වෛරය පතුරුවන ආකාරයේ අදහස් මෙම සැකකරු විසින් ප්‍රකාශ කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් ඒ අනුව මහජන ආරක්ෂක පනත යටතේ ගැනෙන හදිසි නීති රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරු හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර ඔහුට  එරෙහිව ඉදිරිපත් වී තිබෙන සාක්ෂි වල සම්පිණ්ඩනයක් හෙට දින අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේය.

Read more

Local News