UNP නාගරික මන්ත්‍රී උස්මාන් ජුලි 3 නැවත අධිකරණයට කැඳවන්න නියෝග

Share

ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනා නිරීක්ෂණය සඳහා නැවත ජුලි මස 03 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

වැලිකඩ පොලීසිය භාරයේ සිටින මෙම සැකකරුවන් පිරිසක් නිරීක්ෂණය සඳහා අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝගයට අනුව මෙම සැකකරුවන් පිරිස පොලිසිය භාරයේ රඳවාගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන්ගේ සන්තකයේ තිබී ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධ සී. ඩී. පට, ප්‍රචාරක ද්‍රව්‍ය ,තහනම් කඩු කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අතර නැවත නිරීක්ෂණය සඳහා ජුලි මස 3 වනදා ඉදිරිපත් කරන මෙන් වැලිකඩ පොලීසිය නියම කළේය.

Read more

Local News