ප්‍රහාර එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු ගැන දැනුවත් කළත් ආරක්ෂක කවුන්සිල කැඳවූයේ නෑ

Share

මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද (29) අනාවරණ කළේය.

ඒ අද සාක්ෂි විමසීම ආරම්භ කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර රැස්වූ අවසන් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පෙබරවාරි මස 19 වනදා වන බවද ඔහු මෙහිදී අනාවරණ කර සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද උදෑසන නවයට රැස් විය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඊට අදාලව විවිධ පාර්ශ්ව වලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරනු ඇති.

මෙම විශේෂ කාරක සභාව හමුවේ අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදුන්නේය.

Read more

Local News